මානව අන්තරාසර්ග පද්ධතියේ කාර්යභාරය

මානව අන්තරාසර්ග පද්ධතියේ කාර්යභාරය

  • මානව දේහයේ පවතින, කෘත්‍ය සමායෝජනය හා යාමනය සඳහා සහභාගි වන මූලික පද්ධති දෙක අතුරින් එකක් වන්නේ අන්තරාසර්ග පද්ධතියයි.
  • ස්නායු පද්ධතිය හා සැසඳීමේ දී අන්තරාසර්ග පාලනය තරමක් සෙමෙන් වුව ද වඩාත් නිවැරදිව, දේහයේ සමස්තිථිය පවත්වා ගනියි.
  • විශිෂ්ට අන්තරාසර්ග ග්‍රන්ථි මගින් හා විශිෂ්ට අන්තරාසර්ග සෛල මඟින් ස්‍රාවය කරනු ලබන ‘හෝමෝන’ එනම්: රසායනික සංඥා ආධාරයෙන් අන්තරාසර්ග පද්ධතිය ක්‍රියා කරයි.
අන්තරාසර්ග ග්‍රන්ථි

  • මේවා නිර්නාල ග්‍රන්ථි වන අතර, හෝමෝන (රසායනික පණිවුඩකාරක) ස්‍රාවය කරන විශේෂණය වූ සෛල කාණ්ඩවලින් සමන්විත ය. හෝමෝන රුධිර ධාරාවට සෘජුව ම විසරණය වන අතර ඈතින් පිහිටන විශිෂ්ට වූ ඉලක අවයව/ පටක කරා ළඟා වේ. තිරනාල ග්‍රන්ථිවල සිට රුධිර ධාරාවට මේ හෝමෝන විසරණය වීම, ඒ ග්‍රන්ථි වටා ඇති රුධිර කේශෙනාලිකා ජාල සැපයුම මගින් වඩාත් පහසු කර ඇත.

 

හෝමෝන

  • අන්තරාසර්ග ග්‍රන්ථි/ අන්තරාසර්ග සෛලවලින් ස්‍රාවය කරන විශිෂ්ට ආකාරයේ සංඥා අණු වන අතර සිරුරේ වෙනත් ස්ථානයක ඇති විශිෂ්ට ඉලක්ක සෙල මත ක්‍රියා කර, ඒවායේ සෛලීය කෘත්‍ය වෙනස් කරනු ලබයි.

විශේෂිත වූ හෝමෝනයකට සියලු දේහ සෛලවලට ළඟා විය හැකි වුව ද රසායනික සංඥාවලට ප්‍රතිචාර දක්වන්නේ ඒ අදාළ හෝමෝනය සඳහා ගැළපෙන ප්‍රතිග්‍රාහක පවතින ඉලක්ක සෙල මගින් පමණි.

ඉලක්ක සෛලයේ විශේෂිත ප්‍රතිග්‍රාහක සමඟ හෝමෝනය බැඳුණු විට, එය ඒ සෛලය තුළ රසායනික/ පරිවෘත්තීය ප්‍රතික්‍රියා සිදු වීමේ ආරම්භකය ලෙස ක්‍රියා කරයි.මේ අනුව රසායනික සංඥා මගින් යාමක පණිවිඩ දේහය පුරා සන්නිවේදනය කිරිමේ හැකියාව හෝමෝනවලට ඇත.

මානව අන්තරාසර්ග පද්ධතිය

මානව අන්තරාසර්ග පද්ධතිය, එකිනෙක වෙන්ව පිහිටි විශිෂ්ට අන්තරාසර්ග ග්‍රන්ථිවලින් සමන්විත වේ.

මානව දේහයේ ඇති අන්තරාසර්ග ග්‍රන්ථවල පිහිටීම

මානව අන්තරාසර්ග පද්ධතියට අයත් අන්තරාසර්ග ග්‍රන්ථි ලෙස,

    1. හයිපොතැලමස
    2. පිටියුටරි ග්‍රන්ථිය
    3. තයිරොයිඩ් ග්‍රන්ථිය
    4. පැරාතයිරොයිරොයිඩ් ග්‍රන්ථි
    5. අධිවෘක්ක ග්‍රන්ථි
    6. ලැන්ගහැන් දීපිකා (අග්න්‍යාශයේ ඇති)
    7. ප්‍රජනක ග්‍රන්ථි
    8. තයිමස් ග්‍රන්ථි
    9. කේතු දේහය දැක්විය හැකි ය.

මේ අන්තරාසර්ග ග්‍රන්ථිවලට අමතරව සමහර අවයව හා පටකවල තනිව පිහිටි අන්තරාසර්ග සෛල දැකිය හැකි ය (උදා: ආමාශය, ක්ෂුද්‍රාන්තය, වෘක්කය ආදි ඒවා මගින් විශේෂිත හෝමෝන ස්‍රාවය කෙරේ : ආමාශයේ පිහිටි අන්තරාසර්ග සෛල මගින් ගැස්ට්‍රින් හෝමෝනය ස්‍රාවය කරයි).

හයිපොතැලමස පූර්ව මස්තිෂ්ක පාදස්ථයේ, තැලමසට වහා ම පහළින් පිටියුටරි ග්‍රන්ථියට සම්බන්ධව පිහිටයි. හෝමෝන හතක් හයිපොතැලමස මගින් නිපදවා ස්‍රාවය කරන අතර ඒවා පූර්ව පිටියුටරිය මත ක්‍රියා කරයි (ස්‍රාවී හෝමෝන 5ක් සහ ස්‍රාවය නිෂේධක හෝමෝන 2කි). හයිපොතැලමසෙන් ස්‍රාවය වන මේ හෝමෝන මඟින්, පූර්ව පිටියුටරියෙහි හෝමෝන ස්‍රාවය යාමනය කරයි. (වගුව – 5.3) හයිපොතැලමසෙන් ස්‍රාවය වන අනෙක් හෝමෝන දෙක (ඔක්සිටොසින් හා ප්‍රතිමෞත්‍රල්‍ය හෝමෝන- Antidiuretic ) රුධිර ධාරාවට ස්‍රාවය කොට විශේෂිත වූ ඉලක්ක අවයව මත ක්‍රියා කරන තෙක් අපර පිටියුටරියේ තැන්පත්ව පවතී.

error: කොපි කරන්න තහනම්!!!