විභාජක පටක

ශාක පටක වර්ග, ව්‍යුහ කෘත්‍ය සම්බන්ධතා

    ශාකය මූල පද්ධතියකින් හා ප්‍රරෝහ පද්ධතියකින් සමන්විත වන අතර, මූල පද්ධතිය හා ප්‍රරෝහ පද්ධතිය අග්‍රස්ථවලින් වර්ධනය වේ. මේ අග්‍රස්ථ ප්‍රදේශ විභාජක හැකියාව සහිත අතර, අග්‍රස්ථ, අංකුර හා විභාජක ලෙස හැඳින්වේ.

පටකයක් යනු :
විශේෂිත කාර්යයක් හෝ කාර්යයන් කිහිපයක් කිරීමට ඇති සෛල වර්ග එකක් හෝ වැඩි ගණනකින් යුතු සෛල සමූහයක් එක්ව ගත් විට පටකයක් ලෙස හඳුන්වනු ලැබේ.

විභාජක පටක

විභාජක පටකයක් යනු :

    ශාක දේහය තුළ පවතින විභේදනය නොවූ පටක සමූහ, විභාජක ලෙස හැඳින්වේ. විභාජක පටකවල  සෛලවලට සුදුසු තත්ත්ව යටතේ අඛණ්ඩව සෛල විභාජනයට ලක් වෙමින් නව සෛල සැදීමේ හැකියාව ඇත.

  • මෙසේ සෑදෙන නව සෛලවලින් සමහර සෛල දික් වීමෙන් හා විභේදනය වීමෙන් ශාක දේහයට නව පටක සාදන අතර, අනෙක් සෛල විභාජක ලෙස පවතී.
  • විභාජක පටකවලට සුප්ත (අක්‍රිය) කාලයක්  ද ගත කළ හැකි ය.
  • විභාජනවල ක්‍රියාකාරිත්වයෙන් නව සෛල ඇති වීමත් ඒවා විභේදනය වී නව පටක එකතු වීමත් නිසා ශාකයක වර්ධනය සිදු වේ.

ළූණු මුලේ අග්‍රස්ථ විභාජකයේ සෛල 
විභාජක පටකවල සෛලවල ලාක්ෂණික ලක්ෂණ
  1. සියල්ල ජීවි සෛල වේ.
  2. සියල්ල සමවිෂ්කම්භිකය (දළ වශයෙන් ගෝලාකාරයි).
  3. ව්‍යුහමය හා කෘත්‍යමය වශයෙන් විභේදනය වී නැත. 
  4. විශාල, මධ්‍ය න්‍යෂ්ටියකින් යුක්තයි. 
  5. ඝන සෙල ස්ලාමයක් සහිතයි. 
  6. ගුණනය වීමේ හැකියාව දරයි.
  7. තුනී සෛල බිත්ති වලින් යුක්ත වේ.
  8. සාමාන්‍යයෙන් රික්තක නොපවතී. පවතී නම් ඉතා කුඩා ඒවාය.
  9. අන්තර්සෛලීය අවකාශ නොපවතී.
  10. පරිවෘත්තීය වේගය ඉහළයි.
  11. සෛල ප්‍රමාණයෙන් කුඩායි.
  12. සෛල අඳුරු පැහැතිය.

විභාජක පටක වර්ගීකරණය

විභාජක පටක නිර්ණායක කිහිපයක් ඔස්සේ වර්ගීකරණය කළ හැක.

01. පිහිටීම අනුව

02. සම්භවය අනුව

03. ක්‍රියාකාරිත්වය අනුව,          02 සහ 03  පිළිබඳව සම්පත් පොතේ සඳහන් නොවේ.

පිහිටීම අනුව විභාජක පටක වර්ගීකරණය

ශාක දේහය තුළ පිහිටීම අනුව ශාක පටක වර්ග 03කි.

i) අග්‍රස්ථ විභාජක

ii) පාර්ශ්වික විහාජක

iii) අන්තරස්ථ විභාජක

අග්‍රස්ථ විභාජක

  • ශාක මූලාග්‍රාස්ථ හා ප්‍රරෝහ අග්‍රස්ථවල පිහිටයි.
  • මේවායෙන් නව සෛල එකතු වීම නිසා ශාක කොටස්වල දිග වැඩි වීම සිදු වේ.
  • අග්‍රස්ථ විභාජක නිසා සිදු වන ශාක කොටස්වල දිග වැඩි වීම ශාකයක ප්‍රාථමික වර්ධනය ලෙස හඳුන්වනු ලැබේ.

                    ප්‍රරෝහ අග්‍රස්ථය

මූලාග්‍රාස්ථය

පාර්ශවික විභාජක

  • කාෂ්ඨිය ශාකවල දක්නට ලැබෙන සනාල කැමිබියම හා වල්ක කැමිබියම පාර්ශ්වික විභාජක ලෙස සැලකේ.
  • පාර්ශවික විභාජක, කාෂ්ඨිය ශාකවල ද්විතීයික වර්ධනයට දායක වී කාෂ්ඨිය ශාක කඳන් හා මුල්වල පරිධිය වැඩි කිරීම සිදු කරයි.
  • සනාල කැම්බියම මඟින් ශාක දේහයේ ද්විතීයික ශෛලමත්, ද්විතීයික ප්ලෝයමත් නිපදවනු ලබයි.
  • වල්ක කැම්බියම මඟින් ශාකයේ ඝනකම් පරිචර්මය සාදයි. එය අපිචර්මය ප්‍රතිස්ථාපනය කරයි.

අන්තරස්ථ විභාජක

  • තෘණ ශාක වැනි ඇතැම් ඒකබීජ පත්‍රි ශාක කඳන් (පර්ව) පාදස්ථයේ හා පත්‍ර පාදස්ථයේ (ගැට) මෙම විභාජක පටක දක්නට ලැබේ.
  • ඒවා කැඩී-බිදී යන පත්‍ර කොටස් නැවත ශීඝ්‍ර වර්ධනයට හා පර්ව දිගින් වැඩි වීමට දායක වේ.

අමතර කරුණක් –

සම්භවය අනුව විභාජක පටක වර්ගීකරණය

සම්භවය අනුව විභාජක පටක ආකාර 02කි. ඒවා නම්,

01. ප්‍රාථමික විභාජක –

  • ශාකය, කළල අවධියේ පටන් පවතින විභාජක පටක, ප්‍රාථමික විභාජක නම් වේ.
  • ප්‍රාථමික විභාජක වල ක්‍රියාකාරිත්වය නිසා ශාක දේහයේ ප්‍රාථමික පටක හට ගනී.
  • ප්‍රාථමික පටක නිසා ප්‍රාථමික වර්ධනය සිදුවේ.
  • ප්‍රාථමික වර්ධනය නිසා ශාක දේහය දිගින් වැඩි වේ.
  • උදා: කඳ හා මුල අග්‍රස්ථ විභාජක, අන්තරස්ථ විභාජකය.

02. ද්විතීයික විභාජක 

  • කළල අවධියෙන් පසුව ශාක දේහය තුළ හටගන්නා විභාජක පටක වේ.
  • ද්විතීයික විභාජක වල ක්‍රියාකාරිත්වය නිසා ශාක දේහයේ ද්විතීයික පටක හට ගනී. උදා: ද්විතීයික  ශෛලම,ද්විතීයික ප්ලෝයම, වල්කය, ද්විතීයික  බාහිකය
  • ද්විතීයික පටක නිසා ද්විතීයික වර්ධනය සිදුවේ.
  • ද්විතීයික වර්ධනය නිසා ශාක දේහය මහතින් වැඩි වේ.
  • උදා: සනාල කැම්බියම, වල්ක කැම්බියම.
error: කොපි කරන්න තහනම්!!!