මුත්‍ර සෑදීමේ ක්‍රියාවලිය

මුත්‍ර සෑදීමේ ක්‍රියාවලිය

මුත්‍ර සෑදීමේ ක්‍රියාවලියට අයත් ප්‍රධාන පියවර

  • මුත්‍ර සැදීමේ ක්‍රියාවලියට අයත් වන ප්‍රධාන පියවර 3කි.
    1. අතිපරිස්‍රාවණය (Ultrafiltration)
    2. වරණීය ප්‍රතිශෝෂණය (Selective reabsorption)
    3. ස්‍රාවය (secretion)

අතිපරිස්‍රාවණය

  • රුධිරය අධික පීඩනයක් යටතේ බෝමන් ප්‍රාවරයේ කුහරය තුළට පෙරී යෑම අතිපරිස්‍රාවණයයි. 
  • ගුච්ඡිකා කේශනාලිකා බිත්ති තුළින් හා බෝමන් ප්‍රාවරයේ ඇතුළු බිත්තිය හරහා මේ පෙරීමේ ක්‍රියාවලිය සිදු වෙයි.
  • ගුච්ඡිකා රුධිර කේශනාලිකා සිදුරු සහිත වන අතර, බෝමන් ප්‍රාවරයේ ඇතුළු ආස්තරණයේ සෛල බිත්තිය කුඩා ප්‍රමාණයේ අණු හා අයන වර්ග පෙරීම සඳහා විශේෂණය වී ඇත. 
  • මේ විශේෂණය වීම මඟින් ජලය හා කුඩා ද්‍රාව්‍ය අණු වර්ගවලට රුධිර කේශනාලිකා බිත්ති හරහා බෝමන් ප්‍රාවරය තුළට ගමන් කිරීමට ඉඩ සලසයි. 
  • නමුත් රුධිර සෛල, පට්ටිකා හා ප්ලාස්ම ප්‍රෝටීන වැනි විශාල අණු වලට මේ හරහා බෝමන් ප්‍රාවරය තුළට ගමන් කළ නොහැකි ය.
  • බෝමන් ප්‍රාවරය තුළ ඇති ගුච්ඡිකා පෙරනයේ ජලය, අයන, ඇමයිනෝ අම්ල, ග්ලූකෝස්, විටමින, නයිට්‍රජනීය අපද්‍රව්‍ය හා වෙනත් කුඩා අණු වර්ග අන්තර්ගතය. 
  • ගුච්ඡිකා පෙරනයේ සංයුතිය රුධිර ප්ලාස්මාවේ සංයුතියට සමාන නමුත්, එහි ප්ලාස්ම ප්‍රෝටීන, රුධිර සෛල වර්ග හා පට්ටිකා අඩංගු නැත.

වරණීය ප්‍රතිශෝෂණය

  • ප්‍රයෝජනවත් අණු වර්ග, අයන වර්ග හා ජලය ගුච්ඡිකා පෙරනයේ සිට යළිත් අන්තරාල තරලයටත්, එහි සිටි නාලිකාවල රුධිර කේශනාලිකා ජාලය තුළටත් නැවත ඇතුළු කර ගැනීම වරණීය ප්‍රතිශෝෂණයයි.
  • ගුච්ඡික පෙරනයෙන් වැඩි කොටසක් ම ප්‍රතිශෝෂණයට ලක් වනුයේ සංචලිත නාලිකා හරහාය. 
  • අයන වර්ග (උදා: Na+), ජලය හා වැදගත් පෝෂක (උදා: ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල) සක්‍රිය හෝ අක්‍රිය පරිවහනය මගින් ආරම්භක පෙරනයේ සිට ප්‍රතිශෝෂණය කර ගනියි.

ස්‍රාවය  

  • ආගන්තුක ද්‍රව්‍ය හා දේහයට අවශ්‍ය නොවන අපද්‍රව්‍ය වැනි දෑ අන්තරාල තරලයේ හා පරිනාලාකාර කේශනාලිකා ජාලයේ සිට පෙරනයට ඇතුළු කිරීමේ ක්‍රියාවලිය ස්‍රාවය ලෙස හඳුන්වයි.
  • ගුච්ඡිකාව තුළ රැඳී සිටින්නේ කෙටි කාල සීමාවක් බැවින් ඇතැම් ද්‍රව්‍ය මුළුමනින්ම පෙරීමට ලක් නොවෙයි. මේ නිසා ස්‍රාවය අවශ්‍යය ම ක්‍රියාවලියකි.
  • මෙසේ පෙරනයට ස්‍රාවය කරනු ලබන ද්‍රව්‍යයන් වන්නේ H+, NH3, ක්‍රියැටිනයින්, ඖෂධ වර්ග (පෙනිසිලින් ඇස්ප්‍රින් වැනි) හා අතිරික්ත K+ අයන යනාදියයි. 
  • H+හා NH3  වල නාලිකා ස්‍රාවය රුධිරයේ සාමාන්‍ය pH අගය පවත්වා ගැනීමට වැදගත් ය. 
  • මෙය සිදු වන්නේ මුත්‍ර වල NH4+ සැදීමෙනි. 
  • NH3 , H+ සමඟ සම්බන්ධ වී NH4+ සාදයි. 
  • අවිදුර හා විදුර සංචලිත නාලිකා තුළ දී ස්‍රාවය සිදුවෙයි. ද්‍රව්‍ය සහ/ හෝ ස්ථානය මත ස්‍රාවය සක්‍රිය ද අක්‍රිය ද යන්න රඳා පවතියි.

මුත්‍ර සෑදීමේ ක්‍රියාවලිය 

  • අතිපරිස්‍රාවණ ක්‍රියාවලිය නිසා බෝමන් ප්‍රාවරය තුළ ඇති ගුච්ඡිකා පෙරනයේ රුධිර සෛල, පට්ටිකා හා ප්ලාස්ම ප්‍රෝටීන වැනි විශාල අණු රහිත, රුධිරයේ ඇති අනෙකුත් සියලුම සංඝටක අඩංගුය. 
  • මේ පෙරනය බෝමන් ප්‍රාවරයේ සිට අවිදුර සංවලිත නාලිකාවට ගමන් කරයි. 
  • මෙහි දී වරණීය ප්‍රතිශෝෂණය මඟින් අයන(උදා: Na+), ජලය හා වටිනා පෝෂක (උදා: ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල) ආරම්භක පෙරනයේ සිට නැවත රුධිරයට ඇතුළු කර ගැනීම සිදු වෙයි. 
  • ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල වැනි පෝෂක අන්තරාල තරලයට සක්‍රියව  ඇතුළු කර ගනී. 
  • අවිදුර සංවලිත නාලිකා ආස්තරණයේ ඇති සෛල මගින් සක්‍රියව Na+ අන්තරාල තරලය තුළට ඇතුළු කරයි. 
  • ධන ආරෝපණ නාලිකාවෙන් පිට වීම සමඟ අන්තරාල තරලයට Cl අයනද  අක්‍රිය පරිවහනය වේ.
  • එමෙන්ම අවිදුර සංවලිත නාලිකාවේ දී K+ හා HCO3 බොහොමයක් අක්‍රිය පරිවහනය මගින ප්‍රතිශෝෂණය කරයි. 
  • පෙරනයෙන් HCO3 ප්‍රතිශෝෂණය වීම මඟින් දේහ තරලවල pH තුල්‍යතාව පවත්වා ගැනීමට දායක වේ.
  • පෙරනයේ සිට අන්තරාල තරලයට ද්‍රාව්‍ය ගමන් කිරීම නිසා ආස්‍රැතිය මඟින් අක්‍රියව ජලය ප්‍රතිශෝෂණය සිදු වෙයි. 
  • ජලයෙන් වැඩිම ප්‍රමාණයක් ප්‍රතිශෝෂණය වන්නේ අවිදුර සංවලිත නාලිකාවේදිය.
  • එමෙන්ම පෙරනය මෙතුළින් ගමන් කිරීමේදී විශේෂිත ද්‍රව්‍යයන් පෙරනය තුළට ස්‍රාවය ද සිදු වෙයි.
  • නාලිකාව ආස්තරණයේ සෛල මඟින් නාලය තුළට සක්‍රිය පරිවහනයෙන් H+ හා අක්‍රිය පරිවහනයෙන් NH3 ද නාලිකාවේ කුහරයට ස්‍රාවය කරයි. 
  • එම NH3 ස්වාරක්‍ෂකයක් ලෙස ක්‍රියා කරමින් H+ සම්බන්ධ කරගෙන NH4+ ගොඩ නංවයි. 
  • මීට අමතරව ඖෂධ වර්ග සහ විෂද්‍රව්‍ය වැනි අක්මාවේ දී පරිවෘත්තීයට ලක් වූ සමහර ද්‍රව්‍යයන් අවිදූර සංවලිත නාලිකාවේ කුහරය තුළට සක්‍රියව ස්‍රාවය කරයි. 
  • ජල ප්‍රතිශෝෂණය හා විවිධ ද්‍රව්‍ය ස්‍රාවය නිසා අවිදූර සංවලිත නාලිකාවෙන් බැහැරවන තරලය වඩාත් සාන්ද්‍ර බවට පත් වේ.
  • පෙරනය හෙන්ලේ පුඩුවේ අවරෝහණ බාහුවට පැමිණි පසු ආස්‍රැතිය මඟින් අක්‍රියව ජලය ප්‍රතිශෝෂණය සිදු වීමෙන් පෙරනය වඩාත් සාන්ද්‍ර වීම සිදුවෙයි. 
  • ඉන් පසු පෙරනය හෙන්ලේ පුඩුවේ අග්‍රය පසු කරමින් ආරෝහණ බාහුවට පැමිණෙයි. 
  • මේ ආරෝහණ බාහුව ජලයට අපාරගම්‍ය නිසා ජලය ප්‍රතිශෝෂණය සිදු නොවෙයි. නමුත් NaCl සැලකිය යුතු ප්‍රමාණයක් සක්‍රීයව මෙන්ම අක්‍රීයව ප්‍රතිශෝෂණය වේ. 
  • Na+ වැඩි ප්‍රමාණයක් සක්‍රිය පරිවහනය මඟින් පෙරනයේ සිට අන්තරාල තරලයට ප්‍රතිශෝෂණය කරයි. 
  • NaCl බැහැර වීමත්, ජලය බැහැර නොවීමත් නිසා පෙරනය විදුර සංවලිත නාලිකාව දෙසට ගමන් කරන විට වඩාත් තනුක වේ.
  • විදුර සංවලිත නාලිකාවේ දී දේහ තරලවල K+ හා NaCl සාන්ද්‍රණ යාමනයට අදාළ වැදගත් කාර්යභාරයක් සිදු කරයි. 
  • මේ ස්ථානයේ දී පෙරනය තුළට (සක්‍රිය පරිවහනයෙන්) ස්‍රාවය වන K+ ප්‍රමාණය සහ පෙරනයෙන් ප්‍රතිශෝෂණය වන Na+ (සක්‍රිය පරිවහනය මගින්) ප්‍රමාණය දේහයේ අවශ්‍යතාවලට අනුව වෙනස් විය හැකිය. 
  • අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි K+ වල සක්‍රිය පරිවහනය මඟින් ස්‍රාවය සිදු වීමත් Na+ වල සක්‍රිය ප්‍රතිශෝෂණයක් සිදු වෙයි. 
  • එමෙන්ම  පාලනය කරන ලද H+ ස්‍රාවය හා HCO3 ප්‍රතිශෝෂණය සිදුකිරීම මඟින් pH යාමනයට ද විදුර සංවලිත නාලිකාව දායක වෙයි. 
  • ADH හෝමෝනයේ බලපෑම යටතේ අක්‍රියව ජල ප්‍රතිශෝෂණය සිදු වීමෙන් සාන්ද්‍ර මුත්‍රා නිපදවීමට ද විදුර සංවලිත නාලිකාව දායක වෙයි. 
  • අධිවෘක්ක ග්‍රන්ථි වලින් ස්‍රාවය කරන ඇල්ඩොස්ටෙරෝන් හෝමෝනය මඟින් Na+ හා ජලය ප්‍රතිශෝෂණය වැඩි කිරීමත්, K+ බහිස්‍රාවය වැඩි කිරීමත් සිදු කරයි. 
  • විදුර සංවලිත නාලිකා තුළ ඇති තරලය අවසානයේ දී සංග්‍රාහක ප්‍රනාලයට එක් වෙයි.
  • සංග්‍රාහක ප්‍රනාලය තුළින් තරලය ගමන් කරන විට එය සාන්දු බවට පත් වෙමින් මුත්‍ර සාදයි. 
  • ADH වල බලපෑම යටතේ ජලය ප්‍රතිශෝෂණය වැඩි වීම සංග්‍රාහක ප්‍රනාල වලදීත් සිදු වෙයි.  
  • එමගින් මුත්‍ර වඩාත් සාන්ද්‍ර වෙයි. 
  • ඇල්ඩොස්ටෙරෝන් මඟින් සංග්‍රාහක ප්‍රනාලවල දී Na+ සක්‍රිය ප්‍රතිශෝෂණය හා ජලයේ අක්‍රිය ප්‍රතිශෝෂණය උත්තේජනය කරවයි. 
  • තරලයේ අඩංගු අධික යූරියා සාන්ද්‍රණය නිසා එහි සිට අන්තරාල තරලයට යුරියා යම් ප්‍රමාණයක් විසරණයට ලක්විය හැකි ය. 
  • සංග්‍රහක ප්‍රනාල පෙරනය අවසන් සැකසීමෙන් පසු මුත්‍රා සෑදේ.
  • තනුක මුත්‍ර නිපදවෙන විට ආස්‍රැතිය මගින් ජල ප්‍රතිශෝෂණයට ඉඩ නොතබමින් වෘක්ක මගින් සක්‍රියව ලවණ ප්‍රතිශෝෂණය සිදු කරනු ලබයි.

error: කොපි කරන්න තහනම්!!!