ආස්‍රැති විධානය, බහිස්‍රාවය හා බහිස්‍රාවි ඵල

ආස්‍රැති විධානය හා බහිස්‍රාවය

ආස්‍රැති විධානය යනු,

  • ජීවියකුගේ දේහය තුළ ද්‍රාව්‍ය සාන්ද්‍රණය හා ජල තුල්‍යතාව පාලනය කරන ක්‍රියාවලිය ආස්‍රැති විධානයයි. 
  • Amoeba, Paramecium වැනි සරල ඒකසෛලික ජීවීහු ආස්‍රැති විධානය සඳහා සංකෝචක රික්තක භාවිත කරති. එහෙත් සතුන්ට ආස්‍රැති විධානය සඳහා විවිධ ව්‍යුහ විකසනය වී ඇත.
  •  ජීවි දේහ තුළ සිදු වන රසායනික ප්‍රතික්‍රියාවල ප්‍රතිඵල ලෙස හට ගන්නා විෂ සහිත අපද්‍රව්‍ය කිසියම් ලෙසකට දේහයෙන් බැහැර කළ යුතුමය. 

බහිස්‍රාවය යනු,

  • නයිට්‍රජනීය පරිවෘත්තීය අපද්‍රව්‍ය හා වෙනත් පරිවෘත්තීය අපද්‍රව්‍ය දේහයෙන් බැහැර කිරීම බහිස්‍රාවයයි.
  • ආහාර මාර්ගයේ දි ජීරණය නොවුණ දෑ පහ කිරීම බහිස්‍රාවය ලෙස සලකනු නොලබයි. බොහෝ සතුන්ගේ ආස්‍රැති විධානයට හා බහිස්‍රාවයට අදාළ පද්ධති ව්‍යූහමය හා කෘත්‍යමය ලෙස සම්බන්ධිතය.

ආස්‍රැති විධානය හා බහිස්‍රාවයේ අවශ්‍යතාව හා වැදගත්කම

  • සතුන්ගේ පැවැත්මටත් කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයටත් දේහ අභ්‍යන්තර පරිසරය නියතව පවත්වා ගත යුතු ය. විශේෂයෙන්ම ජලය හා විවිධ ද්‍රාව්‍යයන්ගේ සාපේක්ෂ සාන්ද්‍රණ හිතකර සීමා තුළ පවත්වා ගත යුතුය. 
  • මේ නිසා සතුන්ගේ දේහ තරල වල රසායනික සංයුතිය යාමනය කර ගැනීමට ජලය හා ද්‍රව්‍ය දේහයට ලබා ගැනීමත්, දේහයෙන් බැහැර කිරීමත් තුළනය කිරීම අවශ්‍ය වෙයි. 
  • වැඩිපුර ජලය ඇතුළු වීමෙන් සත්ත්ව සෛල ඉදිමීමට හා පුපුරා යෑමට ලක් වෙයි. 
  • එමෙන් ම වැඩි ජල ප්‍රමාණයක් සෛලයෙන් හානි වුව හොත් සත්ත්ව සෛල හැකිළීමට ලක්ව අවසානයේ මිය යයි. 
  • සත්ත්ව සෛලවල මෙන්ම ශාක සෛල වලත් ජල හානිය මෙහෙයවන බලය සැපයෙන්නේ සෛල පටලය හරහා ඇති ද්‍රාව්‍ය සාන්ද්‍රණ අනුක්‍රමණය මගිනි. 
  • සතුන්ට නොනැසී පැවැත්ම උදෙසා ඔවුන්ට ජීවත් වන පරිසරය මත රඳා පවතින විවිධ ආස්‍රැති විධාන උපක්‍රම පරිණාමය වී ඇත.
  • සතුන්ගේ දේහ අභ්‍යන්තර පරිසරයේ සංයුතිය ආරක්ෂා කර ගැනීම උදෙසා පරිවෘත්තියේ දී නිපදවෙන විෂ සහිත ඵල බැහැර කළ යුතුය. 
  • එසේ නොවුණ හොත් එම බහිස්ස්‍රාවී අන්ත ඵල දේහ සෛලවලට විෂ වේ. 
  • උදා: දේහ සෛල තුළ පරිවෘත්තියේ දී ප්‍රෝටීන හා න්‍යෂ්ටික අම්ල බිඳ වැටී සෑදෙන ඇමයින් කාණ්ඩය සිරුරට අධික විෂ සහිත ඇමෝනියා බවට පරිවර්තනය වෙයි. එය දුබල භස්මයක් ලෙස ද ක්‍රියා කරයි. එමෙන් ම ග්ලුකෝස් පරිවෘත්තියේ දී ඔක්සිකරණය වී දුබල අම්ලයක් වන CO2 නිදහස් වෙයි. මෙම  CO2  මගින් දුබල අම්ලයක් සෑදේ. දුබල අම්ල හා භස්ම දේහ අභ්‍යන්තර පරිසරයේ ඒකරාශී වීමෙන් අම්ල – භස්ම තුල්‍යතාව වෙනස් වෙයි. අම්ල – භස්ම තුල්‍යතාව වෙනස් වූ විට ප්‍රෝටීන දුස්වාභාවීකරණය වැනි අයහපත් බලපෑම් ඇති වේ. 
  • මේ නිසා පැවැත්මට සහ කාර්යක්ෂම දේහ ක්‍රියාකාරිත්වයක් සඳහා දේහ අභ්‍යන්තර පරිසරය හිතකර සීමා තුළ පවත්වා ගැනීම උදෙසා පරිවෘත්තීය අපද්‍රව්‍ය දේහයෙන් බැහැර කිරීම අත්‍යවශ්‍ය වේ.

පරිවෘත්තීය උපස්තර හා බහිස්‍රාවි ඵල අතර ඇති සබඳතාට

  • සෛල තුළ පරිවෘත්තියට ලක් කරන උපස්තර වන්නේ කාබෝහයිඩ්‍රේට, මේදය, ප්‍රෝටීන හා න්‍යෂ්ටික අම්ලයි. මේ උපස්ථර වලින් නිපදවෙන බහිස්‍රාවී ඵල විවිධ සාධක මත රඳා පවතී. ඒවා නම්,
    1. රසායනික ව්‍යුහය හා සංයුතිය
    2. එන්සයිම වල සුලබතාව
    3. ඔක්සිජන් සුලබතාව
    4. සතුන් ජීවත් වන වාසස්ථානය ආදියයි.
  • O2 පවතින විට දේහ සෛල තුළ කාබෝහයිඩ්‍රේට පරිවෘත්තියෙන් බහිස්‍රාවී අන්තඵල ලෙස CO2 හා ජලය නිපද වෙයි.
  • කාබෝහයිඩ්‍රේට නිර්වායු ශ්වසනයෙන් සාමාන්‍යයෙන් නිපද වෙන්නේ ලැක්ටික් අම්ලයයි.
  • මේදය ස්වායු ලෙස පරිවෘත්තියට ලක් කිරීමෙන් අවසාන බහිස්‍රාවී ඵලය ලෙස CO2 හා ජලය නිපද වෙයි.
  • ප්‍රෝටීනවල ව්‍යුහය තුළ ඇමයින් කාණ්ඩයක් පවතින බැවින් අතිරික්ත ඇමයිනෝ අම්ල පරිවෘත්තියෙන් ඇමෝනියා නිපදවෙයි.
  • න්‍යෂ්ටික අම්ල පරිවෘත්තියේ දී ඒවායේ නයිට්‍රජනීය භස්ම අඩංගු බැවින් ඇමෝනියා නිපද වෙයි.
  • සතුන් ජීවත් වන වාසස්ථානය හා එන්සයිමවල පැවැත්ම අනුව මේ ඇමෝනියා යූරියා හෝ යූරික් අම්ලය වැනි වෙනත් නයිට්‍රජනීය බහිස්‍රාවී ඵල බවට පරිවර්තනය වෙයි.
error: කොපි කරන්න තහනම්!!!