Lesson Progress
0% Complete
බැක්ටීරියා
- බැක්ටීරියාවෝ ඒකසෛලික ප්රෝකැරියෝටාවෝ වෙති. ඔවුහු විවිධ රූප විද්‍යාත්මක ආකාර සහ සැකසුම් සහිත ය. බැක්ටීරියාවල වඩාත් කැපී පෙනෙන ව්‍යූහ ලක්ෂණ වන්නේ ඔවුන් සෑදී ඇති තනි සෛලවල හැඩයයි.
- මූලික හැඩ ආකාර තුනක් ඇත.
- ගෝලාකාර (කොකුස) (බහුවචනය – කොකයි)
- දණ්ඩාකාර (බැසිලස) (බහුවචනය – බැසිලයි)
- සර්පිලාකාර (ස්පිරිල්ලුම්) (බහුවචනය – ස්පිරිලයි)
- සෛල විභාජනයේ දී සෛල එකිනෙකට සම්බන්ධව පවත්නා ආකාර අනුව එකිනෙකට වෙනස් වූ සැකසුම් ඇති කරයි. ඒ අනුව කොකුස, බැසිලස සහ ස්පිරුලිම තවත් රූපාකාර රැසක් පෙන්වයි.
කොකුස බැක්ටීරියාවන්ගේ සෛල සැකසුම්වල විවිධ ආකාර
කොකුස
- එක ම තලයක සෛල විභාජනය වෙයි. විභාජනය අවසානයේ බෙදෙන සෛල එකිනෙකින වෙන් වී යයි.
ඩිප්ලොකොකුස
- එකම තලයක සෛල විභාජනය වෙයි. බෙදී සැදෙන සෛල යුගල ලෙස පවතියි.
ස්ට්‍රෙප්ටොකොකුස
- එකම තලයක සෛල විභාජනය වෙයි. විභාජනය වූ සෛල දාමයක ආකාරයට එකිනෙකට සම්බන්ධව පවතියි.
චතුෂ්ක
- තල දෙකක සෛල විභාජනයෙන් නිපදවෙන සෛල හතර එකිනෙකට සම්බන්ධව පවතියි.
සාසීනා
- තල තුනක සෛල විභාජනය සිදු වන අතර, සෑදෙන සෛල අටක කාණ්ඩයක් ලෙස එකිනෙකට සම්බන්ධව පවතියි.
ස්ටැෆිලොකොකුස
- බහුතලීය ලෙස සෛල විභාජනය වෙයි. මිදි පොකුරු ආකාර සෛල ගොනු සාදයි.
බැසිලස බැක්ටීරියාවල සෛල සැකසීමේ විවිධ ආකාර
- බැසිලස විභාජනය වන්නේ ඔවුන්ගේ කෙටි අක්ෂය හරහා පමණි. එබැවින් සෛල සැකසුම් ආකාර කීපයක් පවතියි.
තනි බැසිලස
- තනි දණ්ඩාකාර සෛල ලෙස පවතී.
ඩිප්ලො බැසිලස
- සෛල විභාජනයෙන් පසුව යුගල ලෙස පවතියි.
ස්ට්‍රෙප්ටො බැසිලස
- සෛල විභාජනයෙන් පසුව දාම ලෙස පවතියි.
සර්පිල හැඩැති බැක්ටීරියාවන්ගේ වෙනස් වූ සෛල සැකසුම්
- සර්පිල බැක්ටීරියාවෝ දඟර එකක් හෝ වැඩි සංඛ්‍යාවක් දරති. ඒවා කිසි විටෙකත් ඍජු නොවෙති.
විබ්රියෝ
- වක්‍ර වූ දණ්ඩාකාර සෛල ලෙස පවතී
ස්පිරිල්ලුම්
- සර්පිලාකාරය, කස්කුරුප්පු ආකාර දෘඪ දේහයකින් යුක්ත ය.
ස්පයිරොකිටා
- සර්පිලාකාර ය. නම්‍යශීලි ය.
- මෙම ආකාර තුනට අමතරව තවත් විවිධ රුපාකාරයන් බැක්ටීරියාවන්ට පවතී. ඒවා විෂය නිර්දේශයේ සඳහන් නොවේ. උදාහරණ : ඍජුකෝණාස්රාකාර, තාරකාකාර, අක්‍රමවත්
- ඍජුකෝණාස්රාකාර
- තාරකාකාර
බැක්ටීරියාවන්ගේ පෝෂණ විවිධත්වය
- බැක්ටීරියාවෝ පෝෂණ ආකාරවල විවිධත්වයක් පෙන්වති. ඔවුන් අතර ප්‍රධාන පෝෂක ආකාර හතරක් හඳුනා ගෙන ඇත. ශක්ති හා කාබන් ප්රභවය මත පදනම් වෙමින් ඒවා වර්ග කර ඇත.
පෝෂණ ක්‍රමය | ශක්ති ප්රභවය | කාබන් ප්රභවය | නිදසුන |
ප්‍රභා ස්වයංපෝෂි | ආලෝකය | කාබන් ඩයොක්සයිඩ් (අකාබනික කාබන්) | දම් සල්ෆර් හා හරිත සල්ෆර් බැක්ටීරියා |
ප්‍රභා විෂමපෝෂි | ආලෝකය | කාබනික කාබන් | දම් සල්ෆර් නොවන බැක්ටීරියා |
රසායනික ස්වයංපෝෂි | අකාබනික රසායන ද්‍රව්‍ය | කාබන් ඩයොක්සයිඩ් (අකාබනික කාබන්) | Nitrobacter Nitrosomonas Thiobacillus thiooxidans |
රසායනික විෂමපෝෂි | කාබනික රසායන ද්‍රව්‍ය | කාබනික කාබන් | බොහෝ බැක්ටීරියා |
ඔක්සිජන් ධාරණය/භාවිතාව මත ක්ෂුද්රජීවීන් වර්ග කිරීම
- ඔක්සිජන් භාවිතාව මත ක්ෂුද්රජීවීන් කායික විද්‍යාත්මක කාණ්ඩ හතරකට වර්ග කර ඇත. මෙහිදී උදාහරණ සපයා ඇත්තේ බැක්ටීරියාවන් පමණි.
01. අනිවාර්ය ස්වායු
- පැවැත්ම සඳහා ඔක්සිජන් අවශ්‍ය ය. ඔක්සිකාරක පොස්ෆොරයිලිකරණයෙන් ශක්තිය නිපදවයි.
- උදා: Acetobacter sp.
02. අනිවාර්ය නිර්වායු
- ඔක්සිජන් සහිත විට පැවැතිය නොහැකි ය. පැසීම මගින් ශක්තිය නිපදවා ගනියි.
- උදා: Clostridium sp.
03. වෛකල්පිත නිර්වායු
- ඔක්සිකාරක පොස්ෆොරයිලිකරණයෙන් ශක්තිය නිපදවා ගනිමින් මේ ක්ෂුද්‍රජීවීහු ඔක්සිජන් සහිත තත්ත්වවල වර්ධනය වීමට ප්රවනතාවක් දක්වති. එහෙත් පැසීම භාවිත කරමින් නිර්වායු පරිසරවල ද ජීවත් වෙති.
- උදා: Escherichia coli
04. ක්ෂුද්‍රවාතකාමි
- වාතයේ ඇති ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා අඩු ඔක්සිජන් සාන්ද්‍රණයක දී පමණක් මේ ක්ෂුද්‍රජීවීහු ජීවත් වෙති.
- උදා: Lactobacillus sp.
වායුගෝලීය නයිට්රජන් තිර කිරීමේ හැකියාව අනුව බැක්ටීරියාවල විවිධත්වය
- සමහර බැක්ටීරියා වායුගෝලීය නයිට්රජන් තිර කිරීමේ හැකියාව සහිතයි. ඔවුහු නයිට්රජන් තිර කිරීමේ විවිධත්වයක් පෙන්වති.
01. නිදහස්වාසි නයිට්රජන් තිර කරන බැක්ටීරියා : Azotobacter sp.
02. සහජීවි නයිට්රජන් තිර කරන බැක්ටීරියා : Rhizobium sp. (රනිල ශාක මුල් සමඟ)
බැක්ටීරියා වල ප්‍රජනනය
- අලිංගික ප්‍රජනනය ප්‍රධාන වශයෙන් සිදුකරයි.
- බොහෝ බැක්ටීරියා ද්විඛණ්ඩනය මඟින් අලිංගිකව ප්‍රජනනය කරන අතර කලාතුරකින් කඩකඩ වීම සහ අංකුරනය දක්වයි.
- කලාතුරකින් සිදු වන මාදිලි දෙකක බැක්ටීරියා සංයුග්මනය යන ප්‍රජනන ක්‍රියාවලියේ දී ප්‍රවේණික ද්‍රව්‍ය කොටස් හුවමාරු කර ගැනීම සිදු වේ.
බැක්ටීරියා සංයුග්මනය
Quizzes