ජීව විද්‍යාව හඳුන්වා දීම

මිනිසා මුහුණ දෙන අභියෝගවලට අවධානයක් සහිතව ජීව විද්‍යාවේ ස්භාවය, විෂය පථය හා වැදගත්කම

ජීව විද්‍යාව යනු: ජීවීන් සහ ජීවය පිළිබඳ අධ්‍යයනය සඳහා විශේෂ අවධානයක් සහිත විද්‍යාවයි.

  • Bios යනු ජීවයයි. logos යනු අධ්‍යයනයයි. 
  • ‘ජීවය’ යන සංකල්පය අර්ථ දැක්වීමට දුෂ්කර ය. එම නිසා නූතන ජීව විද්‍යාව ඉතා දියුණු මට්ටමක පැවතියද “ජීවය” යන්නට නිසි අර්ථ කථනයක් ලබා දීමට තවමත් ජීව විද්‍යාඥයන් අපොහොසත් වී ඇත .
  • ‘ජීවය’ යනු විශේෂ හා අද්විතීය දෙයකි. එය රසායන විද්‍යා සහ භෞතික විද්‍යා නියම භාවිත කර පැහැදිලි කළ නොහැකි ය. ජීව විද්‍යාව සංකීර්ණ හා අතිවිශාල විෂය සන්ධාරයක් සහිත විෂයයකි. එබැවින් අධ්‍යයනයේ පහසුව තකා එය ප්‍රධාන ශාඛා තුනකට බෙදා ඇත.
    1. සත්ත්ව විද්‍යාව (සතුන් පිළිබඳ අධ්‍යයනය)
    2. උද්භිද විද්‍යාව (ශාක පිළිබඳ අධ්‍යයනය)
    3. ක්ෂුද්‍රජීව විද්‍යාව (ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යයනය)

  • මේ ශාඛා යටතේ අධ්‍යයනය කෙරෙන ක්ෂේත්‍ර කිහිපයක් පහත දැක්වේ.
    • සෛල විද්‍යාව (සෛල පිළිබඳ අධ්‍යයනය)
    • පටක විද්‍යාව (පටක පිළිබඳ අධ්‍යයනය)
    • ව්‍යුහ විද්‍යාව (දේහයේ දළ ව්‍යුහය පිළිබඳ අධ්‍යයනය)
    • කායික විද්‍යාව (කෘත්‍යය පිළිබඳ අධ්‍යයනය)
    • ජෛව රසායනය (ජෛවීය අණු පිළිබඳ අධ්‍යයනය)
    • ප්‍රවේණිය (ආවේණය පිළිබඳ අධ්‍යයනය)
    • පරිසර විද්‍යාව (පරිසරය පිළිබඳ අධ්‍යයනය)

ජීව විද්‍යාව හා බැඳුණු ගැටලු

1. ජීවීන්ගේ විවිධත්වය පිළිබඳ අවබෝධය

  • වර්තමානයේ දී ද පෘථිවිය ජෛව විවිධත්වයෙන් පොහොසත් ය. පෘථිවිය මත ජීවය වර්ෂ බිලියන 3.5 කට පමණ පෙර ඇති විය. මුලින් ම ඇති වූ ජීවීහු විෂමපෝෂි, නිර්වායු ප්‍රාග් න්‍යෂ්ටිකයෝය. එතැන් සිට පරිණාමික ක්‍රියාවලිය නිසා ජෛව ගෝලයේ වර්තමාන පුළුල් ජෛවීය විවිධත්වය ඇති විය.
  • ඔවුන්ගේ අධ්‍යයන මත පදනම්ව, විශේෂ මිලියන 10 – 100කටත් වඩා පමණ ලෝකයේ ඇති බවට විද්‍යාඥයෝ අනුමාන කරති. ජීව හා අජීව ලෝක අතර, ගතික සම්බන්ධතාවක් පවතින අතර, ජෛවගෝලයේ පැවැත්ම උදෙසා සෑම ජීවියකුටම පරිසරය තුළ විශේෂිත කාර්යභාරයක් පවතී.
  • පෘථිවිය මත ජීවයේ විවිධත්වය, ශාක, සතුන් හා ක්ෂුද්‍රජීවීන්ගේ විශේෂ සංඛ්‍යාව, එම විශේෂ තුළ ජානවල විවිධත්වය, කාන්තාර, වැසි වනාන්තර, කොරල් පර වැනි පෘථිවියේ වෙනස් පරිසර පද්ධති ජෛව විද්‍යාත්මක වශයෙන් විවිධ වූ පෘථිවියේ කොටස් වේ.

2. මිනිස් සිරුර හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ අවබෝධය

  • ජීව විද්‍යාව හැදෑරීමේ දී, විශේෂයෙන් පටක විද්‍යාව, මානව දේහයේ ව්‍යුහ විද්‍යාව අධ්‍යයනය මගින් ඉන්ද්‍රියන්වල ව්‍යුහය පිළිබඳ දැනුමක් ලැබේ. ඒ නිසා මිනිස් සිරුර පිළිබඳ අවබෝධයක් හා එය ඇගයීමට හැකියාවක් ද ලැබේ. විවිධ ඉන්ද්‍රිය පද්ධතිවල කෘත්‍යය සහ ව්‍යුහ – කෘත්‍ය සබඳතාව පිළිබඳ අවබෝධය ද ලැබේ.

3. ස්වාභාවික සම්පත් හා පරිසරය තිරසර භාවිතය හා කළමනාකරණය

  • ස්වාභාවික සම්පත් යනු, එදිනෙදා ජීවීතයට හා ආර්ථික සංවර්ධනයට භාවිත වන ස්වභාවිකව හමු වන ද්‍රව්‍ය හා ශක්තීන්වල ප්‍රභව වේ.
  • ස්වාභාවික සම්පත් පෘථිවිය මත සීමිත ය. මානව ජනගහන වර්ධන ශීඝ්‍රතාවේ වැඩි වීම නිසා ස්වභාවික සම්පත් වල අධිපරිභෝජනය සිදු වෙමින් පවතී. එය ස්වාභාවික සම්පත් ක්ෂය වීමේ තර්ජනයට හේතු වේ.
  • ස්වාභාවික සම්පත්වල අධිපරිභෝජනය නිසා විවිධ පාරිසරික ගැටලු ඇති වේ.
    • පරිසර දූෂණය
    • ජෛව විවිධත්ව හානිය
    • කාන්තාරකරණය
  • මේ ගැටලු මැඩ පැවැත්වීමට ස්වභාවික සම්පත් හා පරිසරය කළමනාකරණය කළ යුතුය. ජීව විද්‍යාව පිළිබඳ දැනුම මේ ගැටලු වලට පිළියම් සෙවීමට උපකාරි වේ.

4. තිරසර ආහාර නිෂ්පාදනය

  • මානව ජනගහනයට ප්‍රමාණවත් තරම් ආහාර ප්‍රමාණයක්, පරිසර සුරක්ෂිත ක්‍රම භාවිතයෙන් නිපදවීම තිරසර ආහාර නිෂ්පාදනය යි.
  • වර්තමාන මානව ජනගහනය බිලියන 7ක් පමණ වේ. එම ප්‍රමාණය වසර 40කට අඩු කාලයක දී දෙගුණ වීම අපේක්ෂිත ය. එබැවින් මානවයාගේ පැවැත්ම උදෙසා තිරසර ආහාර නිෂ්පාදනය අත්‍යවශ්‍ය වේ.
  • තිරසර ආහාර නිෂ්පාදනය සඳහා ජීව විද්‍යාත්මක දැනුම මත පදනම් වූ පහත සඳහන් ක්‍රම භාවිත කළ හැකි ය.
    • ඉහළ ඵලදාවක් සහිත ශාක හා සත්ව ප්‍රභේද නිපදවීම.
    • රෝගවලට ප්‍රතිරෝධි ශාක හා සත්ව ප්‍රභේද නිපදවීම.
    • පසු අස්වනු තාක්ෂණය දියුණු කිරීම.

5. ශාක ජීවිතය පිළිබඳ අවබෝධය

  • ශාක යනු ලෝකයේ ප්‍රාථමික නිෂ්පාදකයෝ ය. සියලුම සතුන් සෘජුව හෝ වක්‍රව ශාක මත යැපේ. එබැවින් ශාක ජීවිත පිළිබඳ අවබෝධය වැදගත් ය. මානව ජනගහනයේ වර්ධනයත් සමග නිෂ්පාදකතාව ද වැඩි කළ යුතු ය. එබැවින් ශාකවල කෘත්‍යය හා ජීව විද්‍යාව පිළිබඳ අවබෝධය ඉහළ ඵලදාවක් සහිත ශාක හා රෝගවලට ප්‍රතිරෝධි ශාක ඇති කිරීම වැනි කාර්යයන් සඳහා වැදගත් වේ.

6. රෝග හා ඒවාට හේතු පිළිබඳ අවබෝධය

  • රෝග, ඒවාට හේතු හා ඉන් ඇති වන බලපෑම් පිළිබඳ දැනුම මානව දේහය නීරෝගිව පවත්වා ගෙන යෑමට අවශ්‍ය ය. වර්තමාන ලෝකයේ අනතුරුදායක බෝ නොවන රෝග ලෙස පිළිකා, හෘදයාබාධ, දියවැඩියාව, නිධන්ගත වකුගඩු ආබාධ ද, බෝ වන රෝග ලෙස ඩෙංගු, AIDS වැනි රෝග ද පවතී.
  • පිළිකා – මේ රෝගය ඇති වීමට හේතු තවමත් සම්පූර්ණ ලෙස අවබෝධ කර ගෙන නැත. මේ රෝගය මරණවලට ප්‍රධාන හේතුවක් වේ.
  • AIDS රෝගය – ලොව පුරා පැතිරෙමින් පවතින දරුණු සෞඛ්‍ය ගැටලුවක් වන වයිරස් රෝගයකි.
  • හෘදයාබාධ – ලොව පුරා පැතිරෙන බරපතළ සෞඛ්‍ය ගැටලුවකි. මේ සඳහා ද හේතු තවම සම්පූර්ණයෙන් හඳුනා ගෙන නැත.
  • නිධන්ගත වකුගඩු රෝගය – ශ්‍රී ලංකාවේ නිධන්ගත වකුගඩු රෝගය (CKDu) රෝගය බරපතළ සෞඛ්‍ය ගැටලුවකි. මේ රෝග වළක්වා ගැනීම, ප්‍රතිකර්ම ක්‍රම හා සුව කිරීම පිළිබඳ ව විද්‍යාඥයන් විසින් මේ වන විට කටයුතු කරමින් සිටිති.

7. නෛතික හා සාරධර්ම පිළිබඳ ගැටලුවලට විසඳුම් සෙවීම

  • මාතෘත්වය හෝ පිතෘත්වය පරික්ෂා කිරීම, අපරාධ පරික්ෂා කිරීම, ආගමන විගමන ගැටලු විසදීම වැනි නිතීමය කාරණාවල දී ද ජීව විද්‍යාත්මක සංකල්ප පිළිබඳ දැනුම හා භාවිත වැදගත් වේ. DNA ඇඟිලි සලකුණු තාක්ෂණය මෙහි දී භාවිත කෙරේ.
error: කොපි කරන්න තහනම්!!!