ජීවීන්ගේ ලාක්ෂණික

ජෛව ලෝකයේ ස්වභාවය හා සංවිධාන රටා

  • ජීවීන් අතර, තරම, හැඩය ආකාරය හා වාසස්ථාන වැනි නිර්ණායක අනුව විවිධත්වයක් පවතී.
    1. තරම – බැක්ටීරියා (0.25 μm – 2 μm ) සිට යෝධ රෙඩ් (Giant Sequoia) ශාකය (100 m)
    2. හැඩය – ජීවීන් හැඩය අනුව විවිධාකාර වේ. උදා:- සිලින්ඩරාකාර – (ගැඩවිලා), තර්කුරූපී දේහය (පක්ෂීන්, මත්ස්‍යයන්)
    3. ආකාරය – ඒක සෛලීය (Amoeba), බහු සෛලීය (ඕනෑ ම ශාකයක් හෝ සත්වයෙක්)
    4. වාසස්ථාන – භෞමික (මීයා), ජලජ (මත්ස්‍යයා), වායව (පක්ෂීන්), රුක්වාසී (Loris)

ජීවීන් සතු ලාක්ෂණික ලක්ෂණ

  • ජීවය යන්නට තවමත් අර්ථදැක්වීමක් සපයා නොමැති නිසා ජීවය, අජීවීන්ගෙන් වෙන්කර හඳුනාගැනීම සඳහා ජීවීන් සතු අනන්‍ය ලක්ෂණ 07ක් යොදා ගනී. ඒවා ජීවීන්ගේ ලාක්ෂණික ලෙස හඳුන්වන ලැබේ. පහත දැක්වෙන්නේ ජීවීන් සතු ලාක්ෂණික ලක්ෂණ ය.

01. ක්‍රමවත් බව හා සංවිධානය

  • ජෛව විද්‍යාත්මක ක්‍රියාවන්ගේ කාර්යක්ෂමතාව පවත්වා ගැනීම සඳහා අණුක මට්ටමේ සිට ජෛව ගෝලය දක්වා ක්‍රමවත් බවක් හා සංවිධානයක් ජීවීන් සතුව ඇත. පහළ මට්ටම්වල සංරචක, ඉහළ මට්ටම්වල දී ක්‍රමවත් රටාවකට සංවිධානය වී ඒවා වඩාත් කාර්යක්ෂම කර ඇත. උදා:- ශාක පත්‍ර, මිනිස් ඇස

02. පරිවෘත්තීය

  • ජීවින් තුළ සිදු වන සියලු රසායනික ක්‍රියාවල සමස්තය පරිවෘත්තියයි. ඊට සංවෘත්තිය හා අපවෘත්තිය ප්‍රතික්‍රියා ඇතුළු වේ.
සංවෘත්තිය
    • කුඩා අණු එකතු වීමෙන් විශාල අණු ගොඩනැගීමේ ප්‍රතික්‍රියා වේ.
    • බොහෝවිට මෙම ප්‍රතික්‍රියා සඳහා ශක්තිය වැය වීමක් සිදු වේ.(සෑදෙන විශාල අණු තුළ ශක්තිය ගබඩා වේ.)
    • උදා- ප්‍රභාසංස්ලේෂණය
අපවෘත්තිය
    • විශාල අණු කුඩා අණුවලට බිඳ වැටෙන ප්‍රතික්‍රියා වේ..
    • බොහෝවිට මෙම ප්‍රතික්‍රියා නිසා ශක්තිය නිපදවේ.
    • උදා – සෛලීය ශ්වසනය

  • ජීවීන්ගේ පරිවෘත්තිය පෝෂණය හා පෝෂකවල සුලභතාව මත රඳා පවතී.

03. වර්ධනය හා විකසනය

  • සියලු ජීවීන්ගේ ජීවිත ආරම්භ වන්නේ තනි සෛලයකිනි.
වර්ධනය
    • අප්‍රතිවර්ත්‍ය ලෙස සිදු වන වියළි ස්කන්ධයෙහි වැඩි වීම වර්ධනයයි.
විකසනය
    • ජීවියකුගේ ජීවිත කාලය තුළ දී සිදු වන සියලු අප්‍රතිවර්ත්‍ය වෙනස්වීම් විකසනය ලෙස හඳුන්වයි.
    • වර්ධනය හා විකසනය ජීවියෙකුගේ ජීවිත කාලය තුළ සිදුවන අනුගාමි ක්‍රියාවලි දෙකකි.

මානව කලලයේ වර්ධනය හා විකසනය

04. උද්දීප්‍යතාව හා සමායෝජනය

උද්දීප්‍යතාව

    • බාහිර හා අභ්‍යන්තර පරිසරවලින් පැමිණෙන උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව උද්දීප්‍යතාවයි. (අභ්‍යන්තර පරිසරය යනු දේහයේ සෛල වටා ඇති පරිසරයයි. උදා – පටක තරලය, රුධිරය)
  • සත්ත්වයෙකු උත්තේජ ලබා ගන්නා ව්‍යුහ හෝ අවයව ප්‍රතිග්‍රාහක ලෙස හැඳින්වේ.
  • උත්තේජ, ආවේග ලෙස මොළයට ගමන් කරන්නේ ස්නායු මගිනි.
  • එම උත්තේජනවලට ප්‍රතිචාර දක්වන අවයව පේශී හා ග්‍රන්ථි වේ. එම අවයව කාරක ලෙස හැඳින්වේ.

සමායෝජනය

    • ප්‍රතිග්‍රාහක හා කාරක අතර මනා සංයෝජනය, සමායෝජනය ලෙස හැඳින්වේ.
  • උද්දීප්‍යතාවේ හා සමායෝජනයේ ප්‍රතිඵලයක් ලෙස ජීවීන්ගේ චලන සිදු වේ.
  • සතුන්ගේ මේ ක්‍රියාව පේශි, ස්නායු, අන්තරාසර්ග හා අස්ථි පද්ධතිවල සමායෝජනයෙන් සිදු වේ.

 

  • සතුන්ගේ චලන ක්ෂණිකව ම උතේජයට ප්‍රතිචාරයක් ලෙස දැකිය හැකි වුවත් ශාකවල ප්‍රතිචාර සෙමෙන් සිදු වන නිසා බොහෝ විට එය ක්ෂණිකව දැක ගත නොහැකි වේ.  නිදිකුම්බා ශාකවල නිද්‍රා සන්නමන චලන ශාකවල දැකගත හැකි ක්ෂණික ප්‍රතිචාරයකි.

 

05. අනුවර්තනය

  • ජීවියකු ජීවත් වන සුවිශේෂ පරිසරයට අනුකූලව එම ජීවියාගේ පැවැත්ම හා ප්‍රජනනයට අනුබල දෙන ව්‍යුහමය, කායකර්මීය හා චර්යාමය වෙනස් වීම අනුවර්තන නම් වේ.

ව්‍යුහමය අනුවර්තන

    • ශුෂ්කරුපී ශාකවල ගිලුණු පූටිකා හා ඝන උච්චර්ම ඇති වීම.
    • හිම වලසාගේ ලෝම පිහිටීම.

කායකර්මීය අනුවර්තන

 

    • ජලය හිඟ අවස්ථාවල පූටිකා වැසීම හා පත්‍ර රෝල් වීම.
    • කඩොලාන ශාක වල ජලාබුජ ප්‍රරෝහණය. (පාඩමේදී පැහැදිලි කෙරේ.)

චර්යාමය අනුවර්තන

    • සතුන්ගේ වේශාන්තරණය.

    • ශීත කාලවලදී, උණුසුම් රටවලට පක්ෂීන්ගේ පර්යටනය
  • අනුවර්තන හේතුවෙන් ප්‍රත්‍යස්ථ නොවන පරිසර වලට හැඩගැසීමේ හැකියාව ජීවීන්ට ලැබී ඇත.

06. ප්‍රජනනය

  • විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ජනිතයන් බිහිකිරිමේ හැකියාව ප්‍රජනනයයි.
  •  ප්‍රජනනය ලිංගිකව හෝ අලිංගිකව සිදු විය හැකි ය.
  • සත්ත්වයන් බහුලව ලිංගික ප්‍රජනනය සිදු කරන අතර ශාක, බැක්ටීරියා හා දිලීර  අලිංගික ප්‍රජනනය ද දක්වයි. (ශාකවල අතු පැළ වීම, පටක රෝපණය ආදිය අලිංගික ප්‍රජනන ක්‍රම වන අතර ද්විඛණ්ඩනය බැක්ටීරියාවන්ගේ අලිංගික ප්‍රජනන ක්‍රමයකි.) 

බැක්ටීරියාවන්ගේ ද්විඛණ්ඩනය 

07. ආවේණිය හා පරිණාමය

  • ජීවීන්ගේ විශේෂිත කායික විද්‍යාත්මක, රූප විද්‍යාත්මක හා චර්යාත්මක ලක්ෂණ පාලනය කරන ජාන ඔවුන් සතුව ඇත. එම ජාන එක් පරම්පරාවක සිට අනෙක් පරම්පරාවට ගමන් කරයි. එම ක්‍රියාවලිය ආවේණියයි.
  • ප්‍රවේණික ද්‍රව්‍යවල සිදු වන වෙනස්වකම් වලට අනුකූලව කාලයත් සමග ජිවීන්ට වෙනස් වීමට ඇත හැකියාව පරිණාමය යි.

ක්ෂීරපායින් පරිණාමය වූයේ හික් මී ආකාරයකිනි.

  •  පරිණාමවාදයට අනුව, විවිධ ලක්ෂණ සහිත ජීවීන්ගේ වරණයක් සිදු වේ. මේ නිසා කාලයත් සමග අහිතකර ලක්ෂණ සහිත ජීවීන් වඳ වී ගොස් වඩා හිතකර ලක්ෂණ සහිත ජීවීන්ගේ පැවැත්ම තහවුරු වේ.

  • අජීවී ද්‍රව්‍ය බහුතරය ඉහත ලක්ෂණ එකක් හෝ කිහිපයක් හෝ පෙන්වන නමුත් සියලු ලක්ෂණ නොපෙන්වයි. උදා ස්ඵටික වර්ධනය, තරංග චලනය එහෙත් දෙන ලද ලක්ෂණ සියල්ල එක විට හෝ තම ජීවන චක්‍රයේ කුමන හෝ අවස්ථාවක දී පෙන්වන්නේ ජීවීන් පමණකි.
ඉහත සඳහන් කළ ජීවීන්ගේ සුවිශේෂී වූ අනන්‍ය ලක්ෂණ සියල්ල පෙන්වන පදාර්ථය ජීවීන් වේ. ජීවී නොවන පදාර්ථ ද සමහර විට මෙම ඉහත සඳහන් ලක්ෂණ එකක් හෝ කිහිපයක් පෙන්නුම් කරයි (නිදසුන් – ස්ඵටිකවල වර්ධනය, මුහුදු රැළිවල චලනය). එහෙත් ඉහත සියලුම අනන්‍ය ගුණ පෙන්වනුයේ ජීවීන් පමණි. ජීවීහු මෙම ගුණ සියල්ල තම ජීවන චක්‍රයේ කුමන අවස්ථාවක හෝ පෙන්නුම් කරති. මේ ලක්ෂණ තනි සෛලයක් සහිත ජීවීන්ගේ මෙන් ම ඉහළ සංකීර්ණතාවක් ඇති ජීවීන් වන මිනිසා සහ සපුෂ්ප ශාක තුළ ද දක්නට ලැබේ.

ජෛව සංවිධානයේ ධුරාවලි මට්ටම්

  • ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලයයි.
  • ඇතැම් ජීවීන් ඒකසෛලික වන අතර, ඇතැම් ජීවීහු බහුසෛලික වේ.
  • කාබනික අණුවලින් සැකසුණු ඉන්ද්‍රියිකා කිපයකින් සෛලය සමන්විත ය.
  • ජෛව සංවිධානයේ ධුරාවලි මට්ටම් එක් එක් මට්ටම පහත පරිදිය.
අණු ⇨ ඉන්ද්‍රයිකා ⇨ සෛල ⇨ පටක ⇨ ඉන්ද්‍රිය ⇨ ඉන්ද්‍රිය පද්ධති ⇨ ඒකෛක ජීවීයා⇨ ගහනය ⇨ ප්‍රජාව ⇨ පරිසර පද්ධති ⇨ ජෛව ගෝලය. 

ගයාන් රත්නසූරිය
B.Sc. (University of Colombo)
ශ්‍රී ලංකා උපාධිධාරී ගුරු සේවය (හිටපු)
075 7201405
error: කොපි කරන්න තහනම්!!!