ඇනිමාලියා රාජධානිය – Chordata

වංශය – කෝඩේටා

Phylum – Chordata

දර්ශීය පෘෂ්ඨවංශී සැලැස්ම

  1. අවම තරමින් කලල විකසනයේ දී හෝ පමණක් පූර්ව සිට අපර දිශාවට දේහයට සන්ධාරණය සපයමින් ආහාර මාර්ගය සහ ස්නායු රජ්ජුව අතර, පිහිටන අන්වායාම, ප්‍රත්‍යස්ත, දණ්ඩාකාර ව්‍යුහයක් පවතී. එය පෘෂ්ඨරජ්ජුව ලෙස හඳුන්වනු ලැබේ.
  2. එම පෘෂ්ඨරජ්ජුවට පෘෂ්ඨියව පිහිටන කුහරමය, නාලාකාර ස්නායු රජ්ජුවක් ඇත.
  3. සියලු කෝඩේටාවන්ගේ කලල අවධියේදී ග්‍රසනිකාවේ බාහිරයට විවෘත වන ග්‍රසනික පැළුම් යුගල දක්නට ඇත. භෞමික ආකාරවල සුහුඹුල් වන විට මේවා වැසී යන නමුත් ජලජවාසීන්ගේ සුහුඹුල් අවධිවලත් භෞමික ආකාරවල කීට අවධිවලදිත් මේවා ශ්වසන ව්‍යුහ ලෙස ක්‍රියා කරයි.
  4. ගුදයෙන් අපරව පිහිටන පේශිමය වලිගයක් කලල අවධියේදී දක්නට ඇත.  ඇතැම් භෞමික ආකාරවල සුහුඹුල් වන විට එය ක්ෂීණ වී ඇත.
  5. බොහෝ කෝඩේටාවන් තුළ උදරීය පේශිමය හෘදය දැකිය හැකිය.

කොන්ඩ්‍රික්තියෙස් වර්ගයේ ලාක්ෂණික ලක්ෂණ

Class – Chondrichthyes

  • සියල්ල ජලජයි.
  • සැකිල්ල කාටිලේජීයයි.
  • සංචරණය හා සංතුලනය සඳහා වරල් ඇත.
  • පෞච්ච වරල විෂමාංශපුච්චයි.
  • ශ්වසනය සඳහා ජලක්ලෝම දරයි. ඒවා පිධානයකින් වැසී නැත.
  • රළු කොරලින් දේහය වැසී ඇත.
  • ඩිම්බ අභ්‍යන්තරව සංසේචනය සිදු වෙයි.
  • සමහරු අණ්ඩජලාබුජ ය. අනෙක් උදාහරණ අණ්ඩජ හෝ ජලාබුජ ය.
  • ප්‍රජනක ප්‍රනාල, බහිස්‍රාවි ප්‍රනාල හා ආහාර ජීරණ මාර්ගය ජම්බාලියට විවෘත වෙයි.
  • ම්බාලිය තනි විවරයකින් බාහිර පරිසරයට විවෘත වන පොදු කුටීරයකි.
  • උදා :- මෝරා, මඩුවා.

ඔස්ටෙයික්තියේස් වර්ගයේ ලාක්ෂණික ලක්ෂණ

Class – Osteichthyes

  • සියල්ල ජලජයි.
  • චලතාපී වේ.
  • අස්ථිවලින් සැදී සැකිල්ලක් ඇත.
  • ශ්වසනය සඳහා ජලක්ලෝම දරයි. පිධානය නම්වන අස්ථිමය කවරයකින් ජලක්ලෝම ආවරණය වී ඇත.
  • සංචරණය හා සංතුලනය සඳහා වරල් ඇත.
  • උත්ප්ලාවකතාව පාලනයට වාතාශයක් ඇත.
  • පෞච්ඡ වරල සමාංශපුච්ඡය.
  • පැතලි අස්ථික කංකතාභ හා චක්‍රාකාර කොරල් වලින් දේහය ආවරණය වී ඇත.
  • සමහරුන්ගේ ජන්මාණු අභ්‍යන්තරවද වැඩිදෙනෙකුගේ බාහිරවද සංසේචනය සිදු වේ.
  • බොහෝ උදාහරණ අණ්ඩජ ය.
  • උදා :- කාපයා, බලයා

ඇම්පිබියා වර්ගයේ ලාක්ෂණික ලක්ෂණ

Class – Amphibia

  • භෞමික පරිසරය ආක්‍රමණය කළ පළමු සත්ව කාණ්ඩය වුවත් ජීවන චක්‍රය සම්පූර්ණ කිරීම සඳහා ජලය අවශ්‍ය වේ.
  • ජලය හා ගොඩබිම යන දෙකෙහිම ජීවත් වෙති.
  • මොවුන් හමු වන්නේ මිරිදියෙහි හෝ ගොඩබිම පමණි.  කරදියවාසීන් නැත.
  • අස්ථිමය සැකිල්ලක් දරයි.
  • ගාත්‍රා දරණ ප්‍රථම විශේෂය.
  • භෞමික පරිසරයේ සංවරණය පහසු වන පරිදි මේ ගාත්‍රා මගින් ශරීරය ඉහළට ඔසවා ඇත.
  • සමහරුන්ට ගාත්‍රා නැත. සමහරුන් සිව්පාවෝ වෙති. ඇඟිලි සහිත ගාත්‍රා දරයි.
  • චලතාපී – බාහිර පරිසරයේ උෂ්ණත්ව වෙනස්වීම්වලට අනුව ශරීර උෂ්ණත්වය වෙනස් කර ගනී. මේ නිසා පරිවෘත්තීය සීමා වේ.
  • ශරීරය තුනී, තෙත් සමකින් ආවරණය වී ඇත.
  • කොරපොතු නොපිහිටයි.
  • පරිසර වෙනස්වීම්වලට සංවේදි වේ.
  • ඇස ආවරණය කරමින් නිමීලන පටලයක් ඇත.
  • ඇසට පසුපසින් කර්ණපටහ පටලයක් ඇත.
  • බොහෝ ඇම්පිබියාවෝ බාහිර සංසේචනය දක්වති.
  • බිත්තරවලට කවචයක් නැත.
  • උදා :- මැඩියා, ගෙම්බා, Ichthyophis

රෙප්ටීලියා වර්ගයේ ලාක්ෂණික ලක්ෂණ

Class – Reptilia

  • බහුතරයක් භෞමික වන අතර සමහරක් ජලජ වේ.
  • සම්පූර්ණ භෞමික ජීවිතයකට අනුවර්තනය වූ ප්‍රථම සත්වයෝ ය.
  • අස්ථිමය සැකිල්ලක් දරයි.
  • සංචරණය සඳහා ඇඟිලි සහිත ගාත්‍රා දරයි.
  • ජල සංරක්ෂණයට හා ඇතිල්ලීමට ඔරොත්තු දීම සදහා කෙරටිනීමය ශල්ක වලින් ආවරණය වී ඇත. සමෙහි ග්‍රන්ථි නොමැත.
  • වායව ශ්වසනය සඳහා පෙණහළු ඇත.
  • චලතාපීය.
  • ජලජ හා භෞමික වාසස්ථානවල ජීවත් වේ.
  • අභ්‍යන්තර සංසේචනය සිදු වේ.
  • කැල්සිභවනය වූ කවච සහිත බිත්තර ගොඩබිම දමයි.
  • උදා :- කටුස්සා, සර්පයෝ, කැස්බෑවා, කිඹුලා හා ඇලිගේටරයෝ

ආවේස් වර්ගයේ ලාක්ෂණික ලක්ෂණ

Class – Aves

Archaeopteryx උරගයා පක්ෂීන්ගේ පූර්වජ අවස්ථාවක් ලෙස සැලකේ .

  • භෞමික හා ජලජ වාසස්ථානවල ජීවත් වේ.
  • කෙරටිනීභවනය වූ පිහාටු මගින් ශරීරය ආවරණය වී ඇත. ගාත්‍රා වල ශල්ක හමු වේ.
  • පියාසැරිය සඳහා පූර්ව ගාත්‍රා පිහාටු සහිත පියාපත් බවට සැකසී ඇත.
  • වාත කුටීර සහිත සැහැල්ලු ශක්තිමත් අස්ථිමය සැකිල්ලක් ඇත.
  • වායු හුවමාරුව සඳහා පෙනහලු ඇත.
  • පියාසැරිය සඳහා බොහෝ අනුවර්තන සහිතය. සැහැල්ලු ශරීරය, පියාපත්, වාත කුටීර සහිත අස්ථි, අධික පරිවෘත්තීය, ශරීර ප්‍රමාණය කුඩා වීම.
  • දත් රහිත හොට ඇත.
  • අචලතාපී වේ.
  • පක්ෂීන්ට වර්ණ දෘෂ්ටිය ඇති අතර, දියුණු දෘෂ්ටියක් සහිත ය.
  • භ්‍යන්තර සංසේචනය, කවචය සහිත බිත්තර දමයි.
  • උදා:- කපුටා, ගිරවා, පැණි කුරුල්ලා, රාජාලියා

වාත කුටීර සහිත අස්ථි

මැමාලියා වර්ගයේ ලාක්ෂණික ලක්ෂණ

Class – Mammalia

  • බහුතරයක් භෞමික වාසස්ථානවල ජීවත් වේ. ඇතමෙක් ජලජ වේ.
  • ළපැටියෝ ස්තන ග්‍රන්ථිවලින් නිපදවෙන කිරි මත යැපෙති.
  • කාටිලේජීය සන්ධාන පෘෂ්ඨ වලින් සමන්විත අස්ථි වලින් සෑදි සැකිල්ලක් ඇත.
  • දේහය රෝමවලින් ආවරණය වී ඇති අතර, ඒවා තාප පරිවරණය සඳහා දායක වෙයි.
  • සමෙහි ග්‍රන්ථි ඇත.
  • අචලතාපී ය.
  • බොහෝ සාමාජිකයෝ ඉහළ පරිවෘත්තීය ශීඝ්‍රතා දක්වති.
  • විභේදිත වූ දත් වර්ග ඇත/විෂමදන්ති ය.
  • කුටීර හතරක හෘදයක් සහිත සම්පූර්ණ රුධිර සංසරණ පද්ධතියක් ඇත.
  • පෙණහැලි සහිත කාර්යක්ෂම ශ්වසන පද්ධතියක් ඇත. පෙණහළු වාතනය සඳහා පේශිමය මහා ප්‍රාචීරය වැදගත් වෙයි.
  • අනෙකුත් පෘෂ්ඨවංශීන්ට වඩා විශාලව වැඩුණු මොළයක් පිහිටයි.  බුද්ධිමත් ය, ඉගෙනීමේ කුසලතාව සහ මතකය ඇත.
  • විවිධ සන්නිවේදන ක්‍රම භාවිත කරයි.
  • අභ්‍යන්තර සංසේචනය දක්වන අතර ළපැටියන් දීර්ඝ කාලයක් මවු-පිය ආරක්ෂාව යටතේ වර්ධනය වේ.
  • බහුතරයක් සංචරණය සඳහා ගාත්‍රා භාවිතා කරන අතර ඇතැමෙක් පියාසැරීමටද ඇතමෙක් ජලජ පරිසර වලටද අනුවර්තනය වී ඇත.
  • උදා: වවුලා, තල්මසා, වඳුරා, ගවයා
error: කොපි කරන්න තහනම්!!!