ජීවි ද්‍රව්‍යවල මූලද්‍රව්‍යමය සංයුතිය

ජීවි ද්‍රව්‍යවල මූලද්‍රව්‍යමය සංයුතිය

  • ජීවය ආරම්භ වූයේ අජීවී පදාර්ථයෙන් බව පවතින පිළිගැනීම යි. ඒ නිසා, පෘථිවිය මත පවතින මූලද්‍රව්‍යවලින් ම සජීවී පදාර්ථය ද සමන්විත වී ඇත.
  • පෘථිවි කබොලෙහි ස්වභාවිකව පවතින මුලද්‍රව්‍ය 92ක් පමණ ඇත.

  • එම මූලද්‍රව්‍ය අතරින් 20 – 25% ප්‍රමාණයක් ජීවීන් සඳහා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ලෙස හඳුන්වයි.
  • මිනිසාට මූලද්‍රව්‍ය 25ක් පමණ ද ශාකවලට මූලද්‍රව්‍ය 17ක් පමණ ද අත්‍යවශ්‍යය බව හඳුනාගෙන ඇත.
අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය යනු,

  • නීරෝගි ජීවිතයක් පවත්වා ගෙනයෑම සහ ප්‍රජනනය සඳහා ජීවීන්ට අත්‍යවශ්‍යය වන මූලද්‍රව්‍ය වේ. 
  • ජීවි පදාර්ථයේ 96%ක ප්‍රමාණයක් ඔක්සිජන් (O), කාබන් (C), හයිඩ්‍රජන් (H) සහ නයිට්‍රජන් (N) වලින් සෑදී ඇත.
  • මෙම මූලද්‍රව්‍ය සජීව පදාර්ථයේ වඩාත් සුලබ වීමට ප්‍රධාන හේතුව වන්නේ සහසංයුජ බන්ධන සෑදීමට ඒවාට ඇති හැකියාවයි.
  • දළ වශයෙන් ජීවියෙකුගේ ශරීර ස්කන්ධයෙන් 75%ක්ද, පරමාණු වලින් 90%ක්ද, O හා H  වේ. මෙයට හේතුව ජීවී දේහය තුළ වැඩිම ස්කන්ධයක් ඇති සංයෝගය ජලය වීමයි.
  • ජීවීන්ගේ ස්කන්ධයෙහි ඉතිරි 4% බහුලව අඩංගු වන්නේ කැල්සියම් (Ca), පොස්ෆරස් (P), පොටෑසියම් (K), සහ සල්ෆර් (S) ය.
  • මේවාට අමතරව ජීවි ද්‍රව්‍ය තුළ Na, Cl, Mg, B, Co, Cu, Cr, F, I සහ Fe ද ස්වල්ප ප්‍රමාණයකින් ඇත.

මානව දේහයේ මූලද්‍රව්‍ය සංයුතිය 

අධිමාත්‍ර මූලද්‍රව්‍ය හා අංශුමාත්‍ර මූලද්‍රව්‍ය

  • ජීවීන් තැනීමට දායක වන  මූලද්‍රව්‍ය ඒවායේ සාපේක්ෂ දායකත්වය මත අධිමාත්‍ර මූලද්‍රව්‍ය (Macro elements) හා අංශුමාත්‍ර මූලද්‍රව්‍ය (Trace elements) ලෙස ප්‍රධාන ආකාර දෙකකට වෙන් කළ හැකි ය.
අධිමාත්‍ර මූලද්‍රව්‍ය
  • ජීව පද්ධති ගොඩනැගීමේ දී මෙම මූලද්‍රව්‍ය අධික ප්‍රමාණවලින්  දායක වේ.
  • මානව දේහයේ අධිමාත්‍ර මූලද්‍රව්‍ය : ඔක්සිජන් (O), කාබන් (C), හයිඩ්රජන් (H), නයිට්රජන් (N), කැල්සියම් (Ca), පොස්ෆරස් (P), පොටෑසියම් (K), සල්ෆර් (S), සෝඩියම් (Na), මැග්නීසියම් (Mg) හා ක්ලෝරීන් (Cl).
 අංශුමාත්‍ර මූලද්‍රව්‍ය

ජීවී පද්ධති ගොඩනැගීමේ දී මෙම මූලද්‍රව්‍ය ඉතා සුළු ප්‍රමාණවලින් දායක වේ.

  • මානව දේහයේ අංශුමාත්‍ර මූලද්‍රව්‍ය : බෝරෝන් (B), කොබෝල්ට් (Co), කොපර් (Cu), යකඩ (Fe), අයඩින් (I), මොලිබ්ඩිනම් (Mo), මැංගනීස් (Mn), වැනේඩියම් (V), සින්ක් (Zn), ඇලුමිනියම් (Al), සිලිකන් (Si), ක්‍රෝමියම් (Cr), ෆ්ලුවොරීන් (F) හා ටින් (Sn).

 

error: කොපි කරන්න තහනම්!!!