ශාක පටක පද්ධති

ශාක පටක පද්ධති

  • විභාජක පටකවලින් ඇති වන නව සෛල විශේෂිත කාර්යයන් කිරීම සඳහා විභේදනය වීමෙන් ශාක පටක පද්ධති ඇති කරනු ලබයි.
  • මෙලෙස විභේදනය වීමේ දී ශාක සෛලවල සෛල ප්ලාස්මය, එහි අඩංගු ඉන්ද්‍රයිකා හා සෛල බිත්ති වෙනස්වීම්වලට භාජනය වේ.
  • මේ නිසා මේ සෛලවල ව්‍යුහයට හා කෘත්‍යයට අදාළව නව සෛල පොදුවේ වර්ග කිහිපයකට වෙන් කොට හඳුනා ගත හැකි ය.
  • විශේෂිත කාර්යයක් හෝ කාර්යයන් කිහිපයක් කිරීමට හැකියාව ඇති වර්ග එකක් හෝ වැඩි ගණනකින් යුතු සෛල සමූහයකින් ශාක පටකයක් සමන්විත වේ.
  • සනාල ශාකවල පටක ප්‍රධාන පටක පද්ධති තුනකින් යුක්තය. ඒවා නම්,
        1. චර්මීය පටක පද්ධතිය
        2. පූරක පටක පද්ධතිය
        3. සනාල පටක පද්ධතිය

චර්මීය පටක පද්ධතිය

  • මෙය ශාක දේහයේ කොටස්වල පිටත ආරක්ෂක වැස්ම ලෙස ක්‍රියා කරයි.  උදා-   අපිචර්මය 

අපිචර්මය 

  • ප්‍රාථමික ශාක දේහයේ කඳ, මුල් හා පත්‍ර වැනි කොටස්වලට ආරක්ෂාව සපයයි.
  • තදින් ඇසුරුණු තනි සෛල ස්තරයක් ලෙස පවතියි.
  • සාමාන්‍යයෙන් උච්චර්මය නමැති ඉටිවලින් සැදි අපිචර්මය වැස්මකින් වායව කොටස් ආවරණය වී පවතී.
  • පාලක සෙල, අපිචර්මීය කේශර (Trichome) හා මූලකේශ වැනි විශේෂිත සෛල ද අපිචර්මයේ දක්නට ලැබේ.

ද්විබීජපත්‍රී ශාක පත්‍රයක් මත පාලක සෙල, අපිචර්මීය කේශර ආදියේ පිහිටීම 

ද්විබීජපත්‍රී ශාක මුලක, මූල කේශ වල පිහිටීම 

අපිචර්මයේ කෘත්‍ය

  1. යාන්ත්‍රික හානිවලින් හා ව්‍යාධිජනකයගෙන් සිදු වන හානිවලින් ආරක්ෂා කරයි.
  2. උච්චර්මය ජල හානිය වැලැක්වීමට උදවුවේ. (විජලනයෙන් ආරක්ෂා කරයි.)
  3. මූලකේශ, ජලය හා ඛනිජ අයන අවශෝෂණයට දායක වෙයි.
  4. පාලක සෛල මගින් වායු හුවමාරුවට ආධාර කරයි.
  5. කේසර වැනි ට්‍රීකෝම මඟින් ජලය හානි වීම අඩු කරයි, දිලිසෙන සුලු රෝම මඟින් වැඩිපුර පතිත වන ආලෝකය පරාවර්තනය කර යවයි.
  6. ඇතැම් අපිචර්මීය කේශර මගින් ස්‍රාවය වන රසායනික කෘමීන්/ ව්‍යාධිජනකයන්/ ශාක භක්ෂකයන්ගෙන් ශාකය ආරක්ශා කරයි.

ට්‍රීකෝම

ට්‍රීකෝම යනු අපිචර්මයෙන් හට ගන්නා බාහිර නෙරුම් ලෙස ඇති රෝම හා ග්‍රන්ථි වේ.

ග්‍රන්ථිමය ට්‍රීකෝම 

කේශරමය ට්‍රීකෝම 

කේශරමය ට්‍රීකෝම වල ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂීය ඡායාරූපයක් 

ට්‍රීකෝමවල රූපීය විවිධත්වය

  • ද්විතීයික වර්ධනයෙන් පසු පරිණත ශාක කඳන්, මුල් වැනි කොටස්වල අපිචර්මය පසු කලෙක පරිචර්මය නමැති ආරක්ෂක ස්තරයෙන් ප්‍රතිස්ථාපනය වේ.

පූරක පටක පද්ධතිය

පූරක පටක පද්ධතිය චර්මීය පටකය හා සනාල පටකය අතර, පිරවුමක් ලෙස ප්‍රධාන වශයෙන් බාහිකය (සනාල පටකයට පිටතින් පිහිටි) හා මජ්ජාව (සනාල පටකයට ඇතුළුතින් පිහිටි) යන කොටස්වලින් යුක්තය.
  • පූරක පටකයේ, සංචිත කිරීම, ප්‍රභාසංල්ලේෂණය, සන්ධාරණය හා කෙටි දුරකට සිදු කරනු ලබන ද්‍රව්‍ය පරිවහනය වැනි කෘත්‍ය කිරිමට විශේෂණය වූ සෛල අඩංගු ය.
  • පූරක පටකයේ ප්‍රධාන සෛල වර්ග තුනක් දක්නට ලැබේ. ඒවා නම්,
    1. මෘදුස්තර සෛල
    2. ස්ථුල කෝණාස්තර සෛල
    3. දෘඪස්තර සෛල

මෘදුස්තර සෛල

  1. කෘත්‍යමය වශයෙන් පරිණත අවධියේදීත් සජීවි ය.
  2. පරිණත සෛලවල ප්‍රාථමික සෛල බිත්ති පමණක් දක්නට ලැබේ.
  3. මේ ප්‍රාථමික සෛල බිත්ති සාපේක්ෂ තුනී සහ නම්‍යශීලි වේ.
  4.  බොහෝ සෛලවල ද්විතීයික බිත්ති දැකිය නොහැකිය.
  5. මේවායේ විශාල මධ්‍ය රික්තකයක් දක්නට ලැබේ.

කෘත්‍ය 

  1. ශාකය තුළ සිදු වන බොහෝ පරිවෘත්තීය ක්‍රියා මේ සෛල තුළ සිදු කරයි. උදා – විවිධ කාබනික ද්‍රව්‍ය සංස්ලේෂණය.
  2. සංචිත කෘත්‍යය. –  ශාක මුල් හා කඳන් තුළ දක්නට ලැබෙන සමහර සෛල තුළ ලව (ශ්වේත ලව) අඩංගු වන අතර, ඒවායේ පිෂ්ඨය සංචිත කරයි.
  3. බොහෝ මෘදුස්තරවලට සුදුසු තත්ව සපයා දුන් විට සෛල විභාජනය හා විභේදනය වීමේ හැකියාව ඇත (සමූලජනන විභවය).  මේ හැකියාව ශාකවල ඇති වන තුවාල සුව වීමේ දී දායක වෙයි. එසේ ම පටක රෝපණයේ දී තනි මෘදු ස්තර සෛලයක් මගින් ගුණනය හා විභේදනය විය හැකි සෛල ගොනුවක් සැදීමට ද මේ හැකියාව වැදගත් වෙයි.

ස්ථුල කෝණාස්තර සෛල 

  1. සාමාන්‍යයෙන් දිගැටි සෛල වේ.
  2. මෘදුස්තර සෛලවලට වඩා ඝනකමින් යුත් ප්‍රාථමික සෛල බිත්ති මේ සෛලවල ඇත.
  3. මේ සෛලවල සෛල බිත්ති අසමාකාරව ඝන වී ඇත .
  4. ළපටි ශාක කඳන්වල හා වෘන්තවල අපිචර්මයට යටින් බොහෝ විට ස්ථුලකෝණාස්ථර සෛල, රැහැන් ආකාරයට පිහිටයි.
  5. කෘත්‍යමය පරිණත අවධියේ දී පවා මේ සෛල සජීවි ය, නම්‍යශීලි ය.
  6.  ඒවා මඟින් සන්ධාරණය සැපයෙන කඳන් හා මුල් සමඟ දික් වීම සිදු වේ.

කෘත්‍යය

  • වර්ධනයට අවහිර නොකර, ශාක කඳන් හා පත්‍රවලට යාන්ත්‍රික සන්ධාරණය සපයයි.

දෘඩස්තර සෛල

  • සෛල දික් වීමෙන් පසුව ද්විතීයික සෛල බිත්ති සෑදීම සිදු වෙයි.
  • ලිග්නින් විශාල ප්‍රමාණයකින් ඝනකම් වූ ද්විතීයික සෛල බිත්ති දරයි.
  • පරිණත අවධියේ දී මේ සෛල අජීවි සෛල වේ.
  • දෘඩස්තර සෛල වර්ග දෙකක් පවතී.
    1.  උපල සෛල
    2. දෘඩස්තර තන්තු

උපල සෛල

  1. තන්තුවලට වඩා කෙටි හා මහතින් වැඩි අතර, අක්‍රමවත් හැඩයක් දරයි.
  2. ඒවාට බෙහෙවින් ඝනකම් වූ ලිග්නිභවනය වූ ද්විතීයික බිත්ති ඇත.
  3. වර්ධනය සම්පූර්ණයෙන් නතර වූ ශාක කොටස්වල මේවා දැකිය හැකි ය.

උදා :

    • කටු ලෙස පවතින ඵලාවරණවල (පොල්, දිවුල්)
    • බීජාවරණවල (කෝපි)
    • ඇතැම් ඵලවල මාංසලයේ (පෙයාස්)

තන්තු

  1. සාමාන්‍යයෙන් රැහන් වැනි සමූහ වශයෙන් පිහිටයි.
  2. ඒවා දිගැටි, සිහින්, දෙකෙළවර උල් වූ හැඩයක් ඇති සෛල වේ.
  3. වාණිජ වශයෙන් කෙඳි ලබා ගැනීමට ප්‍රයෝජනවත් වේ.

උදා : හණ කෙඳි, පොල් කෙඳි

කෘත්‍යය

  • තන්තු හා උපල සෛල ශාකයට සන්ධාරණය සහ ශක්තිය ලබා දීමට විශේෂණය වී ඇත.

සනාල පටක පද්ධති

  • සනාල පටක ආකාර දෙකකි. ඒවා නම්,
    1. ශෛලම පටකය
    2. ප්ලෝයම පටකය

ශෛලම පටකය

  • ආවෘත බීජක ශාක හා ඇතැම් විවෘත බීජක ශාකවල ශෛලමය වාහිනී ඒකක හා වාකහකාභ, තන්තු හා මෘදුස්තරවලින් යුක්ත වේ.
  • සෛලම වාහිනී ඒකක හා වාහකාභ ප්‍රධාන වශයෙන් ජලය සන්නයනය කරයි.
  • ඒවා කෘත්‍යමය පරිණත අවධියේ දී අජීවි සෛල ලෙස දක්නට ලැබේ.
  • තන්තු සන්ධාරක ශක්තිය සපයයි.
  • මෘදුස්තර සංචිත කෘත්‍යය ද අරීය ජල පරිවහනය ද සිදු කරයි.

වාහිනී ඒකක

  • සියලු ආවෘත බීජක ශාක සහ සමහර විවෘත බීජක ශාකවල වාහිනී ඒකක දක්නට ලැබේ.
  • මේවා දිගැටි සිලින්ඩරාකාර වේ.
  • වාහකාහවලට වඩා කෙටි හා පළල් වන අතර, තුනී බිත්ති දරයි. •
  • මේවායේ ද්විතීයික බිත්ති ලිග්නින්වලින් ඝන වී ඇත.
  • මේ නිසා ආතතියක් යටතේ සිදු වන ජල පරිවහනයේ දී සන්ධාරනය සපයමින් බිඳවැටීම වළක්වයි.
  • වාහිනී ඒකක එකිනෙක හා බැඳෙන හරස් බිත්තිවල සජිද්‍ර තල පිහිටන අතර, අනෙක් බිත්ති මත කූ  පිහිටයි.
  • මේවායේ හරස් බිත්තිවල ඇති සජිද්‍ර තල අගින් අග පේළියට පිහිටමින් සෙලම වාහිනී සාදයි.
  • සජිද්‍ර තල ඔස්සේ ජලය නිදහසේ ගලා යයි.

වාහකාභ

  • සියලු සනාල ශාකවල දක්නට ලැබේ.
  • මේවා දිගැටි, සිහින්, දෙකෙළවර උල් වූ හැඩයක් ගන්නා සෛල වේ.
  • මේවායේ ද්විතීයික බිත්ති ලිග්නීන්වලින් ඝන වී ඇත.
  • ද්විතීයික බිත්තිවල කූ පිහිටයි.
  • කූ හරහා ජලය එක් සෛලයක සිට අනෙකට ගමන් කරයි.
  • ලිග්නීන්වලින් ඝන වී තිබීම නිසා යාන්ත්‍රික සන්ධාරණය සපයන අතර ම, ආතතියක් යටතේ ජලය ගමන් කිරිමේ දී බිඳවැටීම වළක්වයි.

ශෛලමීය මෘදුස්තර

  • සංචිත කෘත්‍යය.

ශෛලමීය තන්තු

  • සන්ධාරණය.

ප්ලෝයම පටකය

  • ආවෘත බීජක ශාකවල පෙනේර නළ ඒකක, සහචර සෛල, මෘදුස්තර සෛල හා තන්තුවලින් යුක්තය.
  • තන්තු හැර ප්ලෝයම පටකයේ සියලූ සෛල සජීවි සෛල වේ.
  • බීජ රහිත සනාල ශාකවල හා විවෘත බීජක ශාකවල  ප්ලෝයමයේ පෙර නළ ඒකක හා සහචර සෛල නොපිහිටන අතර, පෙනේර නළ ඒකක වෙනුවට ඒ ශාකවල දිගැටි, පටු සෛල වර්ගයක් වන පෙනේර සෛල පිහිටයි.

පෙනේර නළ ඒකක

  1. මේවා තුළ න්‍යෂ්ටිය, රයිබොසෝම, කැපී පෙනෙන රික්තකයක් හා සෙල සැකිලි කොටස් දැකිය නොහැකි ය.
  2. සෛල ප්ලාස්මය පර්යන්ත තුනී ස්තරයක් බවට ක්ෂීණ වී ඇත.
  3. මෙවැනි සෛලගත ද්‍රව්‍ය නැති නිසා මේ සෛල තුළින් පෝෂක ද්‍රව්‍ය නිදහසේ ගලායෑමට ඉඩ සලසයි.
  4. පෙනේර නළ ඒකක එක මත එක පිහිටීම මඟින් පෙනේර නළ සාදයි.
  5. පෙනේර නළ ඒකක අතර, ඇති හරස් බිත්ති මත ඡිද්‍ර සහිත තලයක් පිහිටන අතර, එය පෙනේර තලය නම් වේ.
  6. එක් පෙනේර නළ ඒකකයක සිට අනෙක දක්වා ද්‍රව්‍ය ගලා යෑමට මේ පෙනේර තල ඉඩ සලස්වයි.

සහචර සෛල 

  1. මේවා තුළින් ද්‍රව්‍ය ගමන් නොකරයි.
  2. එක් එක් පෙර නළ ඒකකයට යාබදව පිහිටමින්, ඒවා සමග ප්ලාස්ම බන්ධ විශාල සංඛ්‍යාවක් මගින් සම්බන්ධව ඇත.
  3. මේ සෛලය තුළ පවත්නා න්‍යෂ්ටිය හා රයිබෝසෝම යාබද පෙර නළ ඒකකයේ කෘත්‍ය පාලනයට ද සහභාගි වේ.
  4. ශාක පත්‍රයේ ඇති ප්ලෝයමවල අඩංගු සමහර සහචර සෛල ප්ලෝයම බැර කිරීමේ දී දායක වන අතර, සමහර අවයව තුළ පිහිටි ඇතැම් සහචර සෙල ප්ලෝයම හර කිරීමට උදවු වේ.
error: කොපි කරන්න තහනම්!!!