ශ්වසන චක්‍රය, පෙණහැලි පරිමා හා ධාරිතා

ශ්වසන චක්‍රය, පෙණහැලි පරිමා හා ධාරිතා

ශ්වසන චක්‍රය

එක් ශ්වසනයක දී සිදු වන ආශ්වාසය හා ප්‍රශ්වාසය ශ්වසන චක්‍රය ලෙස හඳුන්වයි.

ආශ්වාසයේ හා ප්‍රශ්වාසයේ විවිධ තත්ව මත පෙණහලු තුළට ඇතුළු වන හා පිට වන වාත ප්‍රමාණය රඳා පවතියි. මේ යටතේ ශ්වසන – පරිමා හතරක් පිළිබඳ විස්තර කෙරේ.

උදම් පරිමාව (Tidal volume / TV)

  • සාමාන්‍ය ශ්වසනයේ, එකී ශ්වසනයක දී දේහයට ඇතුළු කර ගන්නා හා පිට කරන වාත පරිමාව උදම් පරිමාව ලෙස හඳුන්වයි. විවේකීව සිටින වැඩිහිටි පුද්ගලයකුගේ මෙහි සාමාන්‍ය අගය 500 ml ක් පමණ වෙයි.

අතිරේක ආශ්වාස පරිමාව (Inspiratory reserve volume / IRV)

  • බලපෑමක් මගින් උදම් පරිමාවට වඩා වැඩිපුර ආශ්වාස කළ හැකි අතිරේක වාත පරිමාවයි.

අතිරේක ප්‍රශ්වාස පරිමාව (Expiratory reserve volume/ ERV)

  • උදම් පරිමාවකින් පසු ප්‍රශ්වාසය මගින් තවදුරටත් බැහැර කළ හැකි අතිරේක වාත පරිමාවයි.

ශේෂ පරිමාව (Residual volume/ RV)

  • ප්‍රබල ගැඹුරු ප්‍රශ්වාසයකට පසුත්, පෙණහැලි තුළ බැහැර නොවී ඉතිරි වන වාත පරිමාවයි. මෙහි සාමාන්‍ය අගය 1200 ml පමණ වෙයි.

පෙණහැලි තුළ වාත පරිමාවන්ගේ විශේෂිත සංකලනයන් පෙණහැලි ධාරිතා නම් වේ. (Lung capacities). මේ නිසා පෙණහැලි ධාරිතා සැම විට ම පෙණහැලි පරිමා දෙකක හෝ කිහිපයක සංකලනයන්ගෙන් සමන්විත ය. පුද්ගලයකුගේ ශ්වසන ස්වභාවය තීරණය කිරීමට මේ පෙණහැලි ධාරිතා වැදගත් ය.

ආශ්වාස ධාරිතාව (Inspiratory Capacity/IC)

  • උදම් ප්‍රශ්වාසයකට පසු ආශ්වාසයෙන් ඇතුළු කර ගන්නා සම්පූර්ණ වාත පරිමාවයි. එනම්,

IC = TV + IRV

කෘත්‍යානුගත ශේෂ ධාරිතාව (Functional Residual Capacity / FRC)

  • උදම් ප්‍රශ්වාසයකට පසු පෙණහැලි තුළ ඉතිරිව පවතින වාත පරිමාවයි.

FRC = RV +ERV

  • මේ වායු ප්‍රමාණය ගත තුළ දී අඛණ්ඩ වායු හුවමාරු ක්‍රියාවලියක් සඳහා වැදගත් වෙයි. මේ නිසා ප්‍රශ්වාසයකට පසු ගත බිඳ වැටීමෙන් වළක්වයි.

ජීව ධාරිතාව (Vital capacity /VC)

  • පුද්ගලයකුට ආශ්වාස හා ප්‍රශ්වාස කළ හැකි උපරිම වාත පරිමාව ය. සාමාන්‍යයෙන් ස්ත්‍රීන්ගේ මෙය 3100 ml ක් පමණ වන අතර, පුරුෂයන්ගේ 4800 ml ක් පමණ වෙයි.

VC = TV + IRV + ERV

මුළු පෙණහලු ධාරිතාව (Total lung capacity / TLC)

  • පෙණහලුවලට දරාගත හැකි උපරිම වායු පරිමාව හෝ සියලුම පෙණහලු පරිමාවල එකතුවයි. මෙය සාමාන්‍යයෙන් 6000mlක් පමණ වේ.

ව්‍යුහාත්මක මළ අවකාශ ධාරිතාව

  • ශාඛනය වූ සන්නායක නාල පද්ධතිය තුළ (ශ්වාසනාලය, ශ්වාසනාලිකා, අනුග්වාසනාලිකා) පිරි ඇති ආස්වාස වාතයෙන් යම් ප්‍රමාණයක් ගත තුළ වායු හුවමාරුවට කිසිවිටෙක දායක නොවේ. මේ පරිමාව ව්‍යුහාත්මක මළ අවකාශය ලෙස හැදින්වෙන අතර, එය දර්ශීයව 150 ml වෙයි.
error: කොපි කරන්න තහනම්!!!