ශ්වසන පද්ධතියේ ආබාධ

ශ්වසන පද්ධතියේ ආබාධ

ශ්වසන පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට සිගරට් දුම් පානයෙන් ඇති වන බලපෑම්

  • ශ්වසන පද්ධතිය ඇතුළුව, දේහයේ සියලු අවයව කෙරේ සිගරට් දුම හානිකර බලපෑම් ඇති කරයි. විවිධ රෝග හා දුබලතා හට ගැනීමට ඇති ප්‍රවණතාව ඉහළ නංවමින් මරණයට පත් වීමට ඇති අවදානම වැඩි කරයි. දුම් පානය කරන්නන්, දුම්කොළ දහනය නිසා හට ගන්නා රසායන ද්‍රව්‍ය විශාල ගණනක් ආශ්වාස කරයි. රසායනිකව සක්‍රිය වන මේ ඇතැම් රසායන ද්‍රව්‍ය මගින් දේහයට නොයෙකුත් හානි ක්‍රියාරම්භ කරයි.
  • සිගරට් දුමෙහි ආශ්වාස වන සංයෝග ද්‍රව්‍ය අතුරින් නිකොටින් ඇබ්බැහි වන රසායනිකයකි. එය තාවකාලිකව හෘදය ස්පන්දන වේගය ඉහළ නංවන අතර, පර්යන්ත රුධිර වාහිනී සංකුචනය කරවයි. එමගින් තාවකාලිකව රුධිර පීඩනය ඉහළ නංවයි.
  • සිගරට් දුම මගින් කලස් සෛල වලින් (Goblet cells) ශ්ලේෂ්මල ස්‍රාවය උත්තේජනය කරන අතර, ශ්වසන මාර්ගයේ පක්ෂ්ම ක්‍රියාකාරිත්වය ද නිශේධනය කරයි. මේ ශ්ලේෂ්මල අනුශ්වාසනාලිකාවල එකතු වීමෙන් ඒවා අවහිර වීම සිදු වේ. එමගින් ශ්වාසනාලිකා ප්‍රදාහය හෝ බ්‍රොන්කයිටීස් (Bronchities) ඇති වේ. මේ හේතුවෙන් ශ්වසනය අපහසු වේ.
  • සිගරට් දුමේ අඩංගු වන හයිඩ්‍රජන් සයනයිඩ් වැනි රසායනික ද්‍රව්‍ය ද පක්ෂ්ම නිසි ලෙස ක්‍රියාව නතර කරවයි. එහි ප්‍රතිඵලයක් ලෙස දූවිලි හා වෙනත් අංශුමය ද්‍රව්‍යවලට පෙණහැලිවල එක්රැස් වීමට ඉඩ සැලසෙන බැවින්, පෙණහැලි පටකවල ඇති භක්ෂක සෛල ප්‍රමාණය වැඩි කරවයි. එම සෛල මඟින් ජාරක එන්සයිම විශාල ප්‍රමාණයක් නිදහස් කිරීම නිසා ගර්තික පටක විනාශ වීමෙන් වායු හුවමාරුව සඳහා සඵල-පෘෂ්ඨ වර්ගඵලය අඩුවෙයි.
  • සිගරට් දුමේ අඩංගු වන කාබන් මොනොක්සයිඩ් (CO) රුධිරයට අවශෝෂණය වී හිමොග්ලොබීන් සමග ඔක්සිජන්වලට වඩා වැඩි බන්ධතාවකින් අප්‍රතිවර්ත්‍ය ලෙස සම්බන්ධ වෙයි. එවිට නිපදවෙන ඔක්සිහිමොග්ලොබීන් ප්‍රමාණය අඩු වෙයි. එනිසා රුධිරයේ ඔක්සිජන් පරිවහනය අඩු වෙයි. 
  • සිගරට් දුමේ පිළිකාවලට හේතු වන ද්‍රව්‍ය (පිළිකාකාරක) විශාල සංඛ්‍යාවක් අඩංගු වේ. පෙණහැලි පිළිකා අතුරින් 90% කට පමණ හේතුව ව න්නේ සිගරට් දුමයි. සිගරට් දුමේ අඩංගු රසායන ද්‍රව්‍යවලට දීර්ඝ කාලයක් නිරාවරණය වීමෙන් ශ්වාසනාලිකා අපිච්ඡදයේ සෛල ගුණනය වේගවත් කරයි. එමඟින් අසාමාන්‍ය සෛල ස්කන්ධයක් ඇති වේ. එහි ඇති වන මේ අසාමාන්‍ය සෛල අතුරින් ඇතැම් ඒවා පිළිකා සෛල බවට පත් වෙයි. එවැනි සෛල බිඳ වැටී පෙණහැලිවල වෙනත් කොටස් හෝ වෙනත් අවයව කරා ද පිළිකාව ව්‍යාප්ත විය හැකි ය.
  • අක්‍රියව සිගරට් දුම් පානය කරන පුද්ගලයෝ ද ඉහත දැක්වූ සියලු අයහපත් තත්ත්වයට මුහුණ දෙති.

සිලිකොසිස්

  • සිලිකා සංයෝග අඩංගු දූවිල්ලට දීර්ඝකාලීනව නිරාවරණය වීමෙන් මේ තත්ත්වය හට ගනී.
    1. මේ තත්ත්වය සඳහා වැඩි අවදානමක් සහිත කර්මාන්ත වන්නේ, •
    2. ග්‍රැනයිට්, කළුගල් සහ වැලිගල් පතල් කැණීම
    3. ගල් අඟුරු, රන්, ටින් හා තඹ ආකර
    4. වැලි හා පෙදරේරු කර්මාන්තය
    5. වීදුරු හා මැටි කර්මාන්ත
  • සිලිකා අංශු ආශ්වාස කළ විට ඒවා ගර්ත තුළ ඒකරාශි වේ. මේ අංශු මහා භක්ෂාණු මගින් අධිග්‍රහණය කරයි.
  • ඇතැම් සිලිකා අංශු ගර්ත තුළම රැඳී තිබිය හැකි ය. ඒවා ගර්තවලින් පිටතට පැමිණ ප්ලූරාව ආසන්නයේ ඇති අනුශ්වාසනාලිකා හා රුධිර වාහිනී අවට පවතින සම්බන්ධක පටක තුළට ගමන් කරයි. එම අංශු වටා ක්‍රමයෙන් තන්තුමය පටක වර්ධනය උත්තේජනය වීම නිසා අවසානයේ ශ්වසන අනුශ්වාසනාලිකා හා රුධිර වාහිනී විනාශයට පත් වෙයි.
  • දීර්ඝ කාලීනව පෙණහැලි පටක ක්‍රමයෙන් විනාශ වීමෙන් අවසානයේ පුප්ඵුශීය අධ්‍යාතතිය හා හෘදය අකර්මණ්‍ය වීමට මග පාදයි.

ඇස්බැස්ටෝස් ආශ්‍රිත රෝග/ ඇස්බැස්ටෝසිස්

  • ඇස්බැස්ටෝස් අඩංගු නිෂ්පාදන සෑදීමේ හෝ භාවිතයේ නිරත වන්නේ මේ අවදානමට මුහුණ දෙති.
  • ඇස්බැස්ටෝස් කෙඳිති දූවිලි අංශු සමග ආශ්වාස කිරීමෙන් මේ ආබාධ හට ගත හැකි ය.
  • මේ කෙඳිති විශාලත්වයෙන් වැඩි වුව ද ඒවාට ශ්වසන අනුශ්වාසනාලිකා හෝ ගර්ත දක්වා විනිවිද යෑමට හැකිය. මහා භක්ෂාණු ගර්ත තුළ එක්රැස් වී ඇත. එම මහා භක්ෂාණු මගින් කෙටි ඇස්බැස්ටෝස් කෙඳිති අධිග්‍රහණය කරයි. එහෙත් විශාල කෙඳිති මහා භක්ෂාණු, ප්‍රෝටීනමය ද්‍රව්‍ය හා යකඩ තැන්පතු මගින් වට කරනු ලබයි.
  • එමෙන්ම තන්තු පරිග්‍රහණය කළ මහා භක්ෂාණු ද ගර්තවලින් පිටතට පැමිණ ශ්වසන අනුශ්වාසනාලිකා හා රුධිරවාහිනී වටා ඒකරාශි වෙමින් තන්තුමය පටක සෑදීම උත්තේජනය කරවයි. මේ තත්වයේ අවසාන ප්‍රතිඵලය වන්නේ ක්‍රමයෙන් පෙණහැලි පටක විනාශ වෙමින් පුප්ඵුශීය අධ්‍යාතතිය හටගැනීමයි.

පෙණහැලි පිළිකා

  • පෙණහැලි පිළිකා තත්වයන්ගෙන් 90%ක් පමණ හට ගන්නේ සිගරට් දුම් පානය නිසා ය.
  • දුම්පානයක් නොවිණි නම් වසන මාර්ගයේ නාස්රෝම, ශ්ලේෂ්මල සහ පක්ෂම මගින් රසායනික සහ ජෛවීය උද්දීපක කෙරෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබී තිබුණු අතර, දුම්පානය කරන අයකුගේ ඒවා ක්‍රමයෙන් යටපත් වෙමින් අවසානයේ ක්‍රියාකාරිත්වය නවතී.
  • එහි ප්‍රතිඵලයක් ලෙස උද්දීපක, විවිධ මුක්තඛණ්ඩ, පිළිකාකාරක ද්‍රව්‍ය, ව්‍යාධිජනකයන් යනාදිය පෙණහැලි තුළ ඒකරාශි වෙයි. මේ ද්‍රව්‍යයන් හේතුවෙන් අවසානයේ දී පිළිකා වර්ධනය වීම සිදු වෙයි.

ක්ෂය රෝගය(Tuberculosis / TB)

  • Mycobacterium tuberculosis නමැති බැක්ටීරියාව ආසාදනය වීම නිසා හට ගන්නා ආසාදක රෝගයයි.
  • ආසාදිත රෝගියෙකුගේ කැස්ස මගින් බැහැරට නිදහස් වන බැක්ටීරියාව අඩංගු වාතය ආශ්වාස කිරීමෙන් ආසාදනය නොවූ පුද්ගලයකුට රෝගය ආසාදනය වීම සිදු විය හැකි ය.
  • සුලභතම ක්ෂයරෝග ආකාරය පෙණහැලි ආසාදනයට ලක් වීමෙන් හට ගන්නා පුප්ඵුශීය ක්ෂය රෝගයයි. අනෙකුත් දේහ අවයවවලට ද බලපෑම් ඇති විය හැකි ය. මේ බැක්ටීරියාව පෙණහැලි තුළට ආශ්වාස කිරීමෙන් පුප්පුශීය ක්ෂයරෝගය සම්ප්‍රේෂණය වේ.
  • වාතයේත්, නිවාස ආශ්‍රිතවත් ඇති ගෘහාශ්‍රිත දූවිලි තුළ ද දීර්ඝ කාලයක් මේ බැස්ටීරීයාවට නොනැසී පැවතිය හැකි ය.
  • වෙනත් රෝගවලට නිතර ලක් වීම හා දුශ්පෝෂණය නිසා ප්‍රතිශක්තිය හීන වීම මේ රෝගය ආසාදනයට ප්‍රධාන වශයෙන් බලපායි.
  • මෙහි රෝග ලක්ෂණ වන්නේ, ආහාර අරුචිය, බර අඩු වීම, අධික දහඩිය, උණ, පීඩාකාරි කැස්ස සහ රුධිරය බැහැර වීම

ඇදුම (Asthma)

  • මේ රෝගයේ ප්‍රධානතම ලක්ෂණය හතිය හා පපුව හිර වීම නිසා හුස්ම ගැනීමේ ක්‍රියාවලිය අපහසු වීමයි.
  • මෙයට හේතු වන්නේ අනුශ්වාසනාලිකා ජාලයේ, බිත්තිවල පවතින සිනිදු පේශි ක්ෂණිකව සංකෝචනයට ලක් වීමෙන් ඒවායේ කුහර පටු වීම හෝ වැසී යෑමයි.
  • මේ කාල සීමාව තුළ දී ආශ්වාස-ප්‍රශ්වාශයේ දී ශබ්ද නගා හුස්ම ගැනීමෙන් සිව්රුහන් බාන ශබ්දයක් (whistling) හට ගනියි.
  • ඇදුම හට ගැනීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ආශ්වාස වාතය සමග පැමිණෙන පරාග, දූවිලි, මයිටාවන්, බීජාණුවර්ග, සමහර ආහාර වර්ග, සීතල වාතය, අධික ව්‍යායාම හා දුම් වර්ග ආඝ්‍රාණය නිසා ප්‍රතිශක්ති පද්ධතියේ සිදුවන අධි ක්‍රියාකාරිත්වයයි.
  • ප්‍රති-ප්‍රදාහ (Anti-inflammatory) ඖෂධ වර්ග මඟින් මේ තත්වය පාලනය කරනු ලබයි.
error: කොපි කරන්න තහනම්!!!