ජලය

ජීවය සඳහා වැදගත් වන ජලයේ භෞතික හා රසායනික ගුණ

  • ජලය, ජීවය සමඟ අතිශයින්ම බැඳුණු අජීවී පදාර්ථයකි. ජීවය සම්භවය වූයේ ජලයයේය. ජීවය පවතින්නේද ජලය නිසාය. ජලය නොමැති නම් ජීවයක් ද නොපවතී.
  • ජලයේ ජෛව විද්‍යාත්මක වැදගත්කම සඳහා මූලිකවම හේතු වනුයේ එය,
    1. සියලු ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍යයක් සැපයීම     හා 
    2. ජීවී සෛලවල වැදගත් රසායනික සංඝටකයක් වීම      නිසායි.
ජලය ජීවීන්ට ඉතා හොඳ ජෛව විද්‍යාත්මක මාධ්‍යයක් සපයන අවස්ථා වලට උදාහරණ
  1. ජීවී දේහය පුරා ද්‍රව්‍ය පරිවහනය වීම සඳහා අවශ්‍ය මාධ්‍යය වේ (නිදසුන් – රුධිරය, ප්ලෝයම යුෂ).
  2. සෛල තුළ ජෛව රසායනික ප්‍රතික්‍රියා සිදු වන මාධ්‍යය වේ (නිදසුන් – එන්සයිම ප්‍රතික්‍රියා).
  3. ප්‍රජනනයේ දී ජන්මාණු හා බීජාණුවල ව්‍යාප්තියට උපකාර වන මාධ්‍යයක් වේ.
  4. පරාග, ඵල හා බීජ ව්‍යාප්තියට උපකාර වන මාධ්‍යයක් වේ.
  5. ජලජ ජීවීන්ට ජීවත් වීමට මාධ්‍යයක් සපයා දෙයි (නිදසුන් – වාසස්ථානයක් සැපයීම, සන්ධාරක මාධ්‍යයක් සැපයීම, ව්‍යාප්තිය සඳහා මාධ්‍යයක් සැපයීම).
ජලය ජීවී සෛලවල වැදගත් රසායනික සංඝටකයක් ලෙස ක්‍රියා කරන අවස්ථා
  1. ජලය, සමහර ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියකයක් ලෙස ක්‍රියා කරයි (උදා: ප්‍රභාසංශ්ලේෂණය).
  2. විවිධ අණු ද්‍රාව්‍ය තත්වයෙන් තබා ගන්නා මනා ද්‍රාවකයක් ලෙස ක්‍රියා කරයි.
  • ඉහත සඳහන් කරන ලද බොහෝ ගුණ ජලයට ලැබීමට හේතු වී ඇත්තේ ජල අණුවේ පවතින අනන්‍ය වූ භෞතික හා රසායනික ස්වභාවය යි.
  • ජල අණුව, කුඩා, ධ්‍රැවීය, කෝණික අණුවකි.

δ+ භාගිකව ධන ආරෝපිත

δ– භාගිකව ඍණ ආරෝපිත

  • ජල අණුවක් සෑදී ඇත්තේ ඔක්සිජන් (O) පරමාණුවකට හයිඩ්රජන් (H) පරමාණු දෙකක් සහසංයුජ බන්ධනවලින් 104.5° ක කෝණයක් සෑදෙන පරිදි බද්ධ වීමෙනි.
  • ඔක්සිජන් පරමාණුව ඉලෙක්ට්‍රෝන වඩා ආකර්ෂණය කිරීම නිසා O- H අතර සහසංයුජ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් පරමාණුව දෙසට වඩාත් ළං වී තිබේ. මේ නිසා ඔක්සිජන් පරමාණුව මත කුඩා(භාගික) ඍණ ආරෝපිතයක් , හයිඩ්රජන් පරමාණුව මත කුඩා(භාගික) ධන ආරෝපිතයක් ද ඇති වේ.
  • ඒ අනුව ජල අණුවේ එක් කෙළවරක්(ඔක්සිජන් පරමාණුව) ඍණ ආරෝපිතවද, අනෙක් කෙළවර(හයිඩ්‍රජන් පරමාණු) ධන ආරෝපිතව ද පැවතීම නිසා ජලය ධ්‍රැවීය (Polar) අණුවක් ලෙස හැඳින්වේ.
  • ධ්‍රැවීයතාව යනු, අණුවක් තුළ අසාමාන්‍ය ලෙස ආරෝපණ ව්‍යාප්ත වී පැවතීමයි.
  • ජල අණුවේ දෙකෙළවර ඇති H හා O පරමාණු මත ඇති මෙම කුඩා ධන හා ඍණ ආරෝපණ නිසා “ජල අණුවක් හා තවත් ජල අණුවක්” අතර දුර්වල ආකර්ෂණයක් ඇති වේ. මෙම දුර්වල ආකර්ෂණ බල “හයිඩ්රජන් බන්ධන” ලෙස හැඳින්වේ.
  • ජල අණු විශාල සංඛ්‍යාවක් මෙසේ හයිඩ්රජන් බන්ධන මගින් එකිනෙකට ඇලී බැඳී පවතී.

ජලයේ හයිඩ්‍රජන් බන්ධන ( රූපය අදින්න)

  • ජල අණු කුඩා වීම හා ජල අණුවේ ධ්‍රැවීයතාව මෙම හයිඩ්රජන් බන්ධන සෑදීමට මූලික හේතුව වේ.
  • ජලය ද්‍රව අවස්ථාවේ පවතින විට මෙම හයිඩ්රජන් බන්ධන ඉතා දුර්වල හා ලෙහෙසියෙන් කැඩෙන සුලු (Fragile) වේ.
  • මේ නිසා ද්‍රව අවස්ථාවේ දී ජල අණු අතර හයිඩ්රජන් බන්ධන කැඩීයාමත් නැවත සැදීමත් ඉතා ඉහළ සංඛ්‍යාතයකින් සිදු වෙමින් පවතී.
  • මෙසේ ජල අණු විශාල සංඛ්‍යාවක් එකිනෙකට ආකර්ෂණය වී, හයිඩ්රජන් බන්ධන මගින් බැඳී තිබීම නිසා, ජලයට අනන්‍ය වූත් විශේෂිතවූත් ගුණාංග රාශියක් හිමි වී තිබේ.
  • ජලයේ සියලු ගුණ පවත්වාගෙන යෑමට හයිඩ්‍රජන් බන්ධන මගින් ප්‍රධාන කාර්යයභාරයක් ඉටු කරයි.
  • ජලයේ ධ්‍රැවීයතාව හා හයිඩ්රජන් බන්ධන සෑදීමේ හැකියාව නිසා “ජල අණු – ජල අණු” අතර සහ “ජල අණු හා වෙනත් අණු අතර” ආකර්ෂණයක් (බැඳී පවතින ස්වභාවයක්) ඇත. මෙම “ජල අණු -ජල අණු” අතර ඇති වන ආකර්ෂණ සංසක්ති බල ලෙසත් “ජල අණු හා වෙනත් අණු” අතර ඇතිවන ආකර්ෂණ ආසක්ති බල ලෙසත් හැඳින්වේ.
පෘථිවිය මත ජීවය පවත්වාගෙන යෑමට අවශ්‍ය ජලයේ ප්‍රධාන ගුණ හතර
    1. ජල අණු වල සංසක්ති හැසිරීම.
    2. උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව.
    3. හිමායනයේ දී සිදු වන ප්‍රසාරණය.
    4. ද්‍රාවකයක් ලෙස ඇති සර්වනිපුණත්වය.

කෘත්‍යවලට අදාළ ජලයේ ගුණ

  1. සංසක්ති හැසිරීම
    • හයිඩ්‍රජන් බන්ධන නිසා ජල අණු අතර, ඇති ආකර්ෂණය සංසක්තිය ලෙස හඳුන්වයි. ජල අණු සහ වෙනත් ද්‍රව්‍ය අතර, ඇති වන ආකර්ෂණය ආසක්තිය ලෙස හඳුන්වයි. ඉහත ගුණ දෙක නිසා පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ජලයට ලැබී ඇත.
    • ජල අණු අතර, ඇති සංසක්තිය නිසා ජලය සහ ජලයේ ද්‍රාව්‍ය ඛනිජ ලවණ සහ පෝෂක ද්‍රව්‍ය වැනි දිය වූ ද්‍රව්‍ය සනාල පටක වන ශෛලමය සහ ප්ලෝයම තුළින් ගුරුත්වයට එරෙහිව පරිවහනය වේ.
    • ජලය සහ ජලයේ දිය වූ ද්‍රව්‍ය පරිවහනයේ දී ජල අණු සහ සෛල බිත්ති අතර ඇති ආසක්තිය ද ආධාර වේ.
    • ජලයට ඉහළ පෘෂ්ඨික ආතතියක් ඇත. ජල අණු අතර, ඇති සංසක්තිය නිසා ජල අණුවලට එම හැකියාව ලැබී ඇත. එනිසා ජලජ පද්ධතියක් තුළ ඉහළ පෘෂ්ඨයේ ජල අණු පහළ පෘෂ්ඨයේ ජල අණු මඟින් ආකර්ෂණය කර ජල පටලයක් සාදයි. එනිසා කුඩා කෘමීන්ට පොකුණක ජල පෘෂ්ඨය මත ඇවිදීමට හැකි ය.   උදා : දිය ලිස්සන්නා

2. උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව

  • ජලයේ උෂ්ණත්වයේ සුළු වෙනස්වීමක් මගින් සාපේක්‍ෂව අධික තාප ශක්ති ප්‍රමාණයක් ජලයට අවශෝෂණය කිරීම හෝ නිදහස් කිරීම කළ හැකි ය. අධික විශිෂ්ට තාපය නිසා පෘථිවිය මත උෂ්ණත්ව උච්චාවචනය සිදු වන විට ජීවි පද්ධති සහ ජල ස්කන්ධ තුළ ජලය තාප ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියා කරයි.
  • අධික වාෂ්පීකරණ තාපයක් ඇති නිසා ජීවියකු තුළ අවම ජල හානියක් සිදු කරමින් වැඩි තාප ශක්තියක් නිදහස් කළ හැකි ය. එනිසා ජීවියකුගේ දේහ පෘෂ්ඨය සිසිල් පෘෂ්ඨයක් ලෙස පවත්වා ගනී.

උදා: අධික උණුසුම් වීම වැළැක්වීමට

  • මිනිස් සමෙන් ස්වේදය වාෂ්ප වීම, දේහ උෂ්ණත්වය නියත මට්ටමක පවත්වා ගැනීමට ආධාර වේ. ශාකවල සිදු වන උත්ස්වේදනය මගින් ශාක දේහ පෘෂ්ඨය සිසිල් පෘෂ්ඨයක් ලෙස තබා ගන්නා අතර, සූර්යාලෝකය නිසා අධිකව උණුසුම් වීම වළක්වයි.

3. හිමායනයේ දී සිදු වන ප්‍රසාරණය

  • සාමාන්‍යයෙන් ද්‍රව්‍යයක උෂ්ණත්වය වැඩි වන විට ඝනත්වය අඩු වන අතර, උෂ්ණත්වය අඩු වීමේ දී ඝනත්වය වැඩි වේ.
  • ජලයේ උෂ්ණත්වය 4 °Cට වඩා අඩුවන විට හිමායනය වීම ආරම්භ වී අයිස් ඝනක (කුට්ටි) ලෙස හඳුන්වන ස්ඵටික දැලිසක් සාදයි.
  • එනිසා ජලයට 4 °C දී උපරිම ඝනත්වයක් ඇත. එබැවින් ජල ස්කන්ධවල මතුපිට පෘෂ්ඨයේ අයිස් පා වේ. මෙය ධ්‍රැව ප්‍රදේශවල ජල ස්කන්ධ තුළ සිටින ජීවීන්ට ශීත ඍතුවේ දී නොනැසී පැවතීමට හැකිවන ජලයේ වැදගත් ගුණාංගයකි.

4. ද්‍රාවකයක් ලෙස ඇති සර්වනිපුණත්වය

  • ජලයේ ධ්‍රැවීයතාව නිසා ජලයට ලැබී ඇති ගුණයකි.
  • එනිසා ධ්‍රැවීය අණු (උදා: ග්ලූකෝස්), නිධ්‍රැවීය අයනික සංයෝග (උදා: සෝඩියම් ක්ලෝරයිඩ්), ධ්‍රැවීය සහ අයනික (උදා: ලයිසොසයිම්) යන ඒවා ජලයේ දිය වේ. ජල අණු එක් එක් ද්‍රව්‍ය අණු වට කර, ඒවා සමඟ හයිඩ්‍රජන් බන්ධන සාදයි. ද්‍රාව්‍යතාව අයනික ස්වභාවය මත නොව, ධ්‍රැවීයතාව මත රඳා පවතී.
error: කොපි කරන්න තහනම්!!!