මානව මෞත්‍ර පද්ධතිය

මානව මෞත්‍ර පද්ධතිය

  • මානව මුත්‍රවාහිනී පද්ධතියේ කොටස් වන්නේ,
    1. වෘක්ක යුගල
    2. මුත්‍රවාහිනි යුගල
    3. මුත්‍රාශය 
    4. මුත්‍ර මාර්ගය 

  • ඒවායේ ප්‍රධානතම කෘත්‍ය පහත පරිදි දැක්විය හැකි ය.
කොටසප්‍රධාන කෘත්‍ය
වෘක්ක ආස්‍රැතික තුල්‍යතාව හා අම්ල භස්ම සමතුළිතත්තාව පවත්වා ගනිමින් අපද්‍රව්‍ය බහිස්‍රාවය කිරීමට මුත්‍ර නිපදවීම.
මුත්‍ර වාහිනියවෘක්ක වලින් මුත්‍ර ලබාගෙන මුත්‍රාශයට යැවීම.
මූත්‍රාශයමුත්‍ර තාවකාලිකව ගබඩා කිරීම.
මුත්‍ර මාර්ගයමුත්‍රාශය තුළ ගබඩා කර තිබූ මුත්‍ර දේහයෙන් පිට වන මාර්ගයක් සැපයීම.

මිනිස් මූත්‍ර පද්ධතියේ කොටස්

වෘක්කවල පිහිටීම:
  • අපර උදර බිත්තිය මත, කශේරුවට දෙපසින්, ප්‍රති උදරච්ඡදියව හා මහා ප්‍රාචීරයට පහලින් පිහිටයි. දකුණ වෘක්කය වම් වෘක්කයට වඩා මඳක් පහලින් වන සේ පිහිටා ඇත.
රුධිර සැපයුම:
  • මහා ධමනියේ රුධිරය වෘක්කීය ධමනි හරහා වෘක්ක තුළට සැපයෙන අතර, වෘක්කීය ශිරා ඔස්සේ වෘක්ක වලින් බැහැර වන රුධිරය අධර මහ ශිරාවට ගලා යයි.

වෘක්කයේ දළ ව්‍යුහය

මානව වෘක්කයේ දික්කඩක ව්‍යුහය

  • බෝංචි බීජ හැඩැති අවයවයක් වන මෙය මේද ස්කන්ධයෙක් මඟින් නියමිත ස්ථානයේ රඳවා ඇත. 
  • තන්තුමය සම්බන්ධක පටකයෙන් වෘක්ක යුගල ආවරණය වී ඇත. 
  • වෘක්කයක දික්කඩක පවතින ප්‍රදේශ 3ක් පියවි ඇසින් හඳුනාගත හැකි ය. ඒවා නම්, 
    1. බාහිර තන්තුමය ප්‍රාවරය
    2. වෘක්ක බාහිකය හා 
    3. අභ්‍යන්තර වෘක්ක මජ්ජාව යි. 
  • බාහිකය හා මජ්ජාව ප්‍රදේශවල රුධිරවාහිණී ඇති අතර බහිස්ස්‍රාවී නාලිකා තදින් ඇසිරී පවතියි.
  • වෘක්කයේ බාහිකය ගුච්ඡිකා පිහිටන නිසා කණිකාමය ස්වරූපයක් ගෙන ඇත. 
  • මජ්ජාව වෘක්ක පිරමීඩ වලින් සමන්විත බැවින් විලිඛිත ස්වභාවයකින් යුක්තය. 
  • පිරමීඩ වල අග්‍රස්ථ වෘක්ක පිටිකා තුළින් වෘක්ක ශ්‍රෝණිය වෙතට යොමු වී ඇත. 
  • වෘක්ක ශ්‍රෝණිය ප්‍රදේශයෙන් මුත්‍රා වාහිනිය ආරම්භ වෙයි. 
  • වෘක්කීය ධමනිය හා වෘක්කීය ශිරාව ශ්‍රෝණිය තුළින් ගමන් කරයි.

වෘක්කාණුවක ව්‍යූහය 

  • වෘක්කයක ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය වෘක්කාණුවයි. 
  • එක් එක් වෘක්කයක වෘක්කාණු මිලියනයකට අධික සංඛ්‍යාවක් ඇත. වෘක්කාණු ආකාර දෙකකි. එනම් 
  1. බාහික වෘක්කාණු – මජ්ජාවේ කෙටි දුරකට ගමන් කරයි.
  2. ජක්ස්ටා මජ්ජාමය වෘක්කාණු – මජ්ජාවේ ගැඹුරටම විහිදෙයි.
  • වෘක්කයක වැඩිපුර පිහිටා ඇත්තේ බාහික වෘක්කාණුය. 
  • එක් වෘක්කාණුවක් තනි දිගු නාලිකාවකින් හා රුධිර කේශනාලිකා ගුලියකින් සමන්විතය. 
  • එම රුධිර කේශනාලිකා බෝලය ගුච්ඡිකාව ලෙස හැඳින් වේ. 
  • දිගු නාලිකාවේ ඇති කෝප්ප හැඩැති සංවෘත කෙළවර බෝමන් ප්‍රාවරය ලෙස හඳුන්වනු ලබන අතර, එමඟින් ගුච්ඡිකාව වට කරනු ලැබේ. මේ නාලයේ අනෙක් කෙළවර සංග්‍රාහක ප්‍රනාලයට සම්බන්ධ වෙයි.
  • එනි දිගු නාලිකාව සමන්විත වනුයේ, බෝමන් ප්‍රාවරය, අවිදුර සංවලිත නාලිකාව, හෙන්ලේ පුඬුව හා විදුර සංවලිත නාලිකාව යි.

වෘක්කාණුව සහ ආශ්‍රිත රුධිරවාහිනී

වෘක්කාණුවේ පිහිටීම හා වෘක්කාණු වර්ග

බෝමන් ප්‍රාවරය/ ගුච්ඡිකා ප්‍රාවරය

  • වෘක්කාණුවේ නාලාකාර ව්‍යුහයේ පිහිටන ප්‍රසාරිත, සංවෘත කොටසයි. 
  • කෝප්ප හැඩැති අතර, බිත්ති දෙකකින් සමන්විත ව්‍යුහයකි. 
  • මෙහි ඇතුළු බිත්තිය පෙරීම සඳහා විශේෂණය වූ පැතලි අපිච්ඡද සෛල තනි ස්තරයකින් සමන්විතය. 
  • බෝමන් ප්‍රාවරයේ පිටත ස්තරය සරල ශල්කමය අපිච්ඡදයෙන් සෑදී ඇත. 
  • එම ඇතුළු හා පිටත ස්තර දෙක අතර, ඇති අවකාශය ගුච්ඡිකා පෙරනය, ලබා ගැනීමට ඉඩ සලසයි. එය ප්‍රාවර අවකාශයයි. 
  • ඉන් පසු ගුච්ඡිකා පෙරනය, නාලිකාවේ ප්‍රධාන නාලාකාර ප්‍රදේශ තුන වන අවිදුර සංවලිත නාලිකාව, හෙන්ලේ පුඬුව හා විදුර සංවලිත නාලිකාව පසු කරමින් ගමන් කරයි.

ගුච්ඡිකාව

  • බෝමන් ප්‍රාවරණය මඟින් වට කරනු ලබන, රුධිර කේශනාලිකා බෝලය ගුච්ඡිකාවයි. 
  • වෘක්කාණුවට රුධිරය සපයන රුධිර නාලිකාව අභිවාහි ධමනිකාව ලෙසත්, ඉන් පිටතට ගමන් කරන රුධිර වාහිනිය අපවාහී ධමනිකාව ලෙසත් හැඳින්වේ. 
  • අපවාහී ධමනිකාවේ විෂ්කම්භය. අභිවාහි ධමනිකාවේ විෂ්කම්භයට වඩා අඩු ය. 
  • මේ විකරණය මඟින් ගුච්ඡිකාවේ අති පරිස්‍රාවණයට අවශ්‍ය පරිදි රුධිර පීඩනය ඉහළ නැංවීමට වැදගත් වෙයි.
  • ගුච්ඡිකාවෙන් පිටතට යන අපවාහි ධමනිකාව කේශනාලිකා ජාල දෙකක් ගොඩනංවයි.
  1. පරිනාලාකාර කේශනාලිකා ජාලය – අවිදුර හා විදුර සංවලිත නාලිකා වට කරයි. 
  2. වාසා රෙක්ටා – මජ්ජාව දෙසට යොමු වෙමින් හෙන්ලේ පුඬුව වට කරයි.

ගුච්ඡිකාව හා බෝමන් ප්‍රාවරය

අවිදුර සංවලිත නාලිකාව (Proximal convoluted tubule )

  •  විදුර සංවලිත නාලිකාවට සාපේක්ෂව දිගින් හා පළලින් වැඩිය. 
  • ගුච්ඡිකා පෙරනයේ අඩංගු ද්‍රව්‍ය වරණීය ප්‍රතිශෝෂණයට විශේෂණය වී ඇති සරල අපිච්ඡදයෙන් ආස්තරණය වී ඇත (පෝෂක, අයන හා ජලය).

හෙන්ලේ පුඩුව (Loop of Henle)

  • වෘක්කානුවේ “U” හැඩැති කොටස වන මෙය ද සරල අපිච්ඡදයකින් ආස්තරණය වී ඇත. 
  • එය අවරෝහන බාහුව හා ආරෝහන බාහුවකින් සමන්විතය. 
  • අවරෝහණ බාහුවේ ආස්තරනය ජලයේ නිදහස් චලනයන්ට අවකාශය සලසමින් ජල ප්‍රතිශෝෂණයට විශේෂණය වී ඇත. 
  • නමුත් ආරෝහණ බාහුවේ ආස්තරනය ජලයට අපාරගම්‍යය යි.

විදුර සංවලිත නාලිකාව (Distal convoluted tubule)

  • මෙය විශේෂිත අයන වර්ග හා ජලයේ වරණීය ප්‍රතිශෝෂණය සිදුකල හැකිවන පරිදි විශේෂණය වූ සරල අපිච්ඡදයකින් ආස්තරණය වී ඇත. 
  • මෙය සංග්‍රාහක ප්‍රනාලයකට සම්බන්ධ වෙයි.


 

error: කොපි කරන්න තහනම්!!!