මානව ශ්වසන පද්ධතිය – දළ ව්‍යුහය හා කෘත්‍ය

මානව ශ්වසන පද්ධතිය

මානව ශ්වසන පද්ධතියේ දළ ව්‍යුහය හා කෘත්‍ය

මානව ශ්වසන පද්ධතිය

  • මානව ශ්වසන පද්ධතිය පහත සඳහන් ප්‍රධාන කොටස්වලින් සමන්විත ය.
    1. නාස් විවර
    2. නාස් කුහරය
    3. ග්‍රසනිකාව
    4. ස්වරාලය
    5. ශ්වාසනාලය 
    6. ශ්වාසනාලිකා
    7. අනු ශ්වාසනාලිකා
    8. ගර්ත 
  • ශ්වාසනාලයෙන් පැන නගින ශ්වාසනාලිකා දෙක එක් එක් පෙණහැල්ල තුළට ඇතුළු වී කුඩා අනුශ්වාසනාලිකා බවට පත් වී, අවසානයේ ගර්ත නැමැති වාත කෝෂවලින් කෙළවර වෙයි.
  • අනුශ්වාසනාලිකා හා ගර්ත පෙණහැලි තුළ පිහිටා ඇත.
  • පෙණහැලි උරස් කුහරය තුළ පිහිටන කේතු හැඩැති ව්‍යුහ යුගලකි.
  • පෙණහැලි දෙක හැඩයෙන් හා තරමින් සුළු වශයෙන් වෙනස් ය. වම් පෙණහැල්ල, දකුණු පෙණහැල්ලට වඩා මඳක් කුඩා ය. ඊට හේතුව හෘදයේ අග්‍රය, මධ්‍ය තලයෙන් මඳක් වමට බර ව පිහිටීමයි.
  • වම් පෙණහැල්ල ඛණ්ඩිකා දෙකකින් ද, දකුණු පෙණහැල්ල ඛණ්ඩිකා තුනකින් ද සමන්විත ය.
  • එක් එක් පෙණහැල්ලක් පටල දෙකකින් වට වී පවතියි. ඒවා නම්,
    1. අන්තරංග ප්ලූරාව
    2. පාර්ශවික ප්ලූරාව

    1. අන්තරංග ප්ලූරාව : ඇතුළු පටලයයි. පෙණහැලිවල පිටත පෘෂ්ඨයට ඇලී ඇත.
    2. පාර්ශවික ප්ලූරාව: පිටත පටලයයි. එය උරස් කුහරයේ බිත්තිවලට ඇලී ඇත.
  • මේ පටල දෙක අතර, ඉතා තුනී, තරලය පිරි අවකාශයක් පවතියි.
  • ශ්වසනය සිදුවන විට නාස් විවර තුළින් ශ්වසන පද්ධතියට වාතය ඇතුළු වෙයි. නාස් කුටීරය තුළ ඇති අවකාශය තුළින් වාතය ගමන් කරන විට, රෝම මගින් වාතය පෙරීමට ලක් වන අතර ම, වාතය උණුසුම් වීම හා තෙත් කිරීම සිදු වෙයි.
  • නාස් කුටීරය ග්‍රසනිකාවට විවෘත වෙයි. ග්‍රසනිකාව වාතයට හා ආහාරවලට පොදු ගමන් මාර්ගයක් සලසයි. එනම් වාතයේ ගමන් මාර්ගයත් ආහාරවල ගමන් මාර්ගයත් එකිනෙක හරහා වැටී තිබේ.
  • ආහාර ගිලින විට, ස්වරාලය ඉහළට චලනය වී අපිජිහ්විකාව මගින් ශ්වාසනාල ද්වාරය වැසීම සිදු වෙයි. එමගින් ආහාරවලට අන්නස්‍රෝතය හරහා ආමාශයට ගමන් කිරීමට මාර්ගය සලසයි. අනෙක් අවස්ථාවල දී ශ්වාසනාල ද්වාරය විවෘත බැවින් වාතයට ග්‍රසනිකාවේ සිට ස්වරාලය හරහා ශ්වාසනාලයට ඇතුළු විය හැකි ය.

අපිජිහ්විකාවේ ක්‍රියාකාරීත්වය

  • ස්වරාලය තුළ වැඩි වශයෙන් ම ප්‍රත්‍යස්ථ තන්තුවලින් සෑදුණු ස්වරතන්ත්‍ර පිහිටා ඇත. ප්‍රශ්වාස වාතය ඇදීමට ලක් වු හෝ ආතතියට ලක් වූ ස්වරතන්ත්‍ර හරහා ඉක්මනින් ඉහළට යන විට ස්වරතන්ත්‍ර කම්පනය කරමින් හඬ නිපදවීමට ආධාර වෙයි.

  • ස්වරාලයේ හා ශ්වාසනාලයේ බිත්ති කාටිලේජ මගින් ශක්තිමත් ව පවතින නිසා වාතය ගමන් කරන මාර්ග විවෘත ව පවත්වා ගැනීමට හැකි ය.
  • ශ්වාසනාලයේ සිට ශ්වාසනාලිකා දෙක හරහා එක් එක් පෙණහැලි තුළට වාතය ගමන් කරයි. පෙණහැලි තුළ දී අනුස්වාසනාලිකා ලෙස හඳුන්වන ශ්වාසනාලිකාවල කුඩා ශාඛා ජාලයට වාතය ඇතුළු වෙයි. ශ්වසන මාර්ගයේ ප්‍රධාන ශාඛාවල ඇතුළු බිත්තිය ආස්තරණය කරන අපිච්ඡදයේ (ව්‍යාජ ස්ථරීභූත පක්ෂ්මධර අපිච්ඡදයකි) පක්ෂ්ම හා තුනී ශ්ලේෂ්මල පටලයක් ඇත.
  • ආශ්වාස වාතය සමග පැමිණෙන දූවිලි හා අංශුමය දූෂක රඳවා ගැනීමට ශ්ලේෂ්මලය ආධාර වෙයි. පක්ෂ්ම සැලීම මගින් එම ශ්ලේෂ්මල ග්‍රසනිකාව වෙත ඉහළට චලනය කරවා ගිලීම මගින් අන්නස්‍රෝතයට ඇතුළු කරවයි. ශ්වසන පද්ධතිය පවිත්‍ර කරන මේ ක්‍රියාවලිය ‘ශ්ලේෂ්මල ඉහළ නැංවීම ‘ (mucus escalator) ලෙස හඳුන්වයි.

පක්ෂ්ම සැලීම මගින් ශ්ලේෂ්මල පරිවහනය 

  • ඉතා කුඩා අනුශ්වාසනාලිකා අග්‍රස්ථවල කුඩා වාත කෝෂ සමූහයක් එකට පොකුරු ගැසී ඇත. ගර්ත (alveoli) ලෙස හඳුන්වන මේ වාත කෝෂ තුළට වාතය පැමිණි පසු වායු හුවමාරු ක්‍රියාවලිය සිදු වෙයි.
  • පක්ෂ්ම රහිත, පැතලි, තනි අපිච්ඡද සෛල ස්තරයකින් ගර්ත බිත්ති සෑදී ඇත.
  • ගර්තවල ඇතුළත ආස්තරණය ඉතා තුනී තරල පටලයකින් ආවරණය වී පවතියි. එම තරලය සර්ෆැක්ටන්ට් නම් වේ.
  • පෙණහැලි තුළ ගර්ත මිලියන ගණනක් පවතින අතර, එමගින් වායු හුවමාරුව සඳහා විශාල පෘෂ්ඨ ක්ෂේත්‍රඵලයක් ලබා දෙයි. එමෙන් ම සෑම ගර්තයක් ම රුධිර කේශෙනාලිකා ජාලයකින් ද වට වී පවතියි.

 ගර්ත හා ඒවායේ  කේශනාලිකා

  • ආශ්වාස වාතය සමඟ ගර්ත තුළට ඇතුළුවන වාතයේ ඇති ඔක්සිජන්, තෙත තරලමය පටලයේ දිය වී ශීඝ්‍රයෙන් විසරණය වී තුනී අපිච්ඡදය හරහා කේශෙනාලිකා තුළට ඇතුළු වෙයි. ඒ අතරතුරම කාබන්ඩයොක්සයිඩ් වායුව කේශනාලිකා තුළ සිට ගර්ත තුළට විසරණය වෙයි.
  • ගර්ත තුළ පක්ෂ්ම නොපිහිටන නිසා ගර්ත තුළට ඇතුළු විය හැකි ආගන්තුක ද්‍රව්‍ය භක්ෂණය කළ හැකි සුදු රුධිරාණු සෛල ගර්තවල පවතියි.
  • එමෙන් ම ගර්ත ආවරණය කරමින් පවතින සර්ෆැක්ටන්ට් මගින් පෘෂ්ඨික ආතතිය අඩු කරමින්, ඉහළ පෘෂ්ඨික ආතතියක දී ගර්ත බිඳ වැටීම වළක්වයි.
error: කොපි කරන්න තහනම්!!!