පෙණහැලි වාතනය වීමේ යන්ත්‍රණය

පෙණහැලි වාතනය වීමේ යන්ත්‍රණය

  • වායු හුවමාරු පෘෂ්ඨය හෝ ගර්ත තුළ ඉහළ ඔක්සිජන් සාන්ද්‍රණයක් සහ අඩු කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් පවත්වා ගැනීම සඳහා පෙණහැලි වාතනය වීම අත්‍යවශ්‍ය වෙයි. මෙම මාරුවෙන් මාරුවට සිදු වන පෙණහැලි තුළට වාතය ඇතුළු කරගන්නා ආශ්වාසය හා පෙණහැලිවලින් වාතය පිට කරන ප්‍රශ්වාසය මගින් වාතන ක්‍රියාවලිය සිදු වෙයි.
  • මිනිසාගේ ශ්වසනය සෘණ පීඩන ශ්වසනයක් ලෙස හැඳින්වෙන අතර, එහි පෙණහළු තුළට වාතය තල්ලු කිරීමට වඩා ඇද ගැනීමක් සිදු වේ.

ආශ්වාසය

  • ආශ්වාසය සක්‍රිය ක්‍රියාවලියකි.
  • පර්ශු පේශි හෝ අන්තර් පර්ශුක පේශි හා උරස් කුහරයේ පත්ල සාදන කංකාල පේශිමය තහඩුවක් වන මහා ප්‍රාචීරය සංකෝචනය වීමෙන් උරස් කුහරය ප්‍රසාරණය වීමෙන් එහි පරිමාව ඉහළ නගියි.
  • එමෙන්ම පෙණහැලි වට කරමින් පිහිටන අන්තරංග ප්ලූරාව හා පාර්ශවික ප්ලූරාව යන පටල දෙක අතර, පිහිටන ඉතා තුනී තරලයේ පෘෂ්ඨික ආතතිය නිසා පටල දෙක තදින් එකිනෙක ඇලී බැඳී පවතියි.
  • මේ නිසා එම පටල දෙකට එකිනෙක මත සුමට ලෙස ලිස්සා යෑමට හැකියාව ලැබෙයි. එබැවින් උරස් කුහරයේ පරිමාව වැඩි වන විට, පෙණහැලි තුළ ද පරිමාව වැඩි වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පෙණහැලි තුළ වාතයේ පීඩනය වායුගෝලීය පීඩනයට වඩා අඩු වෙයි.
  • මෙමගින් පෙණහැලි සහ වායුගෝලය අතර, පීඩන අනුක්‍රමණයක් හට ගනියි. එනිසා පීඩනය වැඩි වායුගෝලයේ සිට පීඩනය අඩු පෙණහැලි දක්වා වාතය ගලා යයි.

ප්‍රශ්වාසය

  • ප්‍රශ්වාසය සාමාන්‍යයෙන් අක්‍රිය ක්‍රියාවලියකි.(ගැඹුරු ප්‍රාශ්වාසයක් සඳහා ශක්තිය වැය වේ.)
  • මෙවිට අන්තර් පර්ශුක පේශි හා ප්‍රාචීර පේශි ඉහිල් වෙයි.
  • ඒ සමගම උරස් කුහරය තුළ පරිමාව අඩු වෙයි.
  • එහි ප්‍රතිඵලයක් ලෙස පෙණහැලි තුළ පීඩනය බාහිර වායුගෝලීය පීඩනයට වඩා ඉහළ යයි. මේ පීඩනය මඟින් ශ්වසන මාර්ගයට අයත් නාල ඔස්සේ පෙණහැලි තුළ සිට වායුගෝලයට වාතය තල්ලු කිරීමක් සිදු වෙයි.

ප්‍රාචීර පේශිවල ක්‍රියාකාරීත්වය 

 


  • මිනිසකු විවේකි ව සිටින විට, අන්තර් පර්ශුක පේශි හා ප්‍රාචීර පේශිවල සංකෝචනය ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට ප්‍රමාණවත් ය. එහෙත් මිනිසාගේ ක්‍රියාකාරි මට්ටම අනුව, අතිරේක පේශි වර්ගවල සංකෝචනයන් ද දායක කර ගනියි. එනම් ගෙල, පිට ප්‍රදේශය හා පපු ප්‍රදේශයේ මාංශ පේශි සංකෝචනයන් ද දායක වෙයි.
  • ගැඹුරු ආශ්වාසයේදී පේශි වර්ග මගින් පර්ශු කූඩුව ඉහළට ඔසවමින් උරස් කුහරය තුළ පරිමාව තවදුරටත් වැඩි කරයි. 
    • උදා: ව්‍යායාම්වල නිරතවන විට

පෙණහැලි කාර්යක්ෂම ශ්වසන පෘෂ්ඨයක් ලෙස ක්‍රියා කරයි. එයට හේතු වන්නේ,

  1. ගර්ත මගින් වායු හුවමාරුවට ඉහළ පෘෂ්ඨ ක්ෂේත්‍රඵලයක් සැපයීම.
  2. ගර්ත බිත්ති හා කේශෙනාලිකා බිත්ති යන දෙවර්ගය ම සරල ශල්කමය අපිච්ඡදයෙන් ආස්තරණය වී ඇති නිසා විසරණය මගින් වාතය ගමන් කළ යුතු දුර අඩු වීම.
  3. ගර්ත පෘෂ්ඨය තෙත් බැවින් විසරණය සඳහා වායු වර්ග දිය වෙයි.
  4. ගර්ත අධික ලෙස වාහිනීමත් නිසා ශ්වසන වායු විසරණය සඳහා තීව්‍ර විසරණ අනුක්‍රමණයක් පවත්වා ගත හැකි වීම.

රුධිරය හා වාතය අතරත් රුධිරය හා පටක අතරත් වායු හුවමාරු ක්‍රියාවලිය

  • ගර්ත වලදීත්, පටකවලදීත් වායු හුවමාරුව සිදු වීම අඛණ්ඩ ක්‍රියාවලියකි. මෙවිට පෙණහැලිවල සිට රුධිරය කරා O2 පරිවහනය වීමත්, රුධිරයේ සිට පෙණහැලි වෙත CO2, පරිවහනය වීමත් (මෙය බාහිර ශ්වසනය ලෙස ද හඳුන්වයි), රුධිරයේ සිට පටක කරා ඔක්සිජන් පරිවහනය වීම හා පටකවල සිට රුධිරයට CO2 පරිවහනය වීමත් සිදු වෙයි. (මෙය අභ්‍යන්තර ශ්වසනය ලෙස ද හඳුන්වයි).

බාහිර ශ්වසනය

අභ්‍යන්තර ශ්වසනය

  • O2 හා CO2 වායුවල විසරණය සඳහා පෙණහැලි තුළ ගර්තික වාතය හා රුධිරය අතරත් (බාහිර ශ්වසනයේ දී) රුධිරය හා පටක අතරත් (අභ්‍යන්තර ශ්වසනයේ දී) ආංශික පීඩන අනුක්‍රමණයක් පවත්වා ගැනීම අවශ්‍ය වෙයි. ආශ්වාසයේ දී, පෙණහැලි තුළට ඇතුළු කර ගන්නා පිරිසිදු වාතය, පෙණහැලි තුළ රැඳී පවතින ස්ථාවර වාතය සමඟ මිශ්‍ර වීමක් සිදු වෙයි.
  • පෙණහැලි තුළ ඇති වන මේ වායු මිශ්‍රණයේ O2 ආංශික පීඩනය (PO2) වැඩි අගයක් වන අතර, CO2 හි ආංශික පීඩනය (PCO2) ගර්තික කේෂනාලිකා තුළ පවතින රුධිරයේ ආංශික පීඩනයට වඩා අඩු අගයක් ගනියි. මේ ආංශික පීඩන වෙනස මගින් වායු වර්ග දෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන්ට විසරණය සිදු විය හැකි පරිදි සාන්ද්‍රණ අනුක්‍රමණයක් හට ගන්වා ඇත.
  • මේ නිසා O2හි ශුද්ධ විසරණය ගර්ත තුළ සිට ගර්ත කේෂනාලිකා තුළ ඇති රුධිරයටත්, CO2 හි ශුද්ධ විසරණය රුධිරයේ සිට ගර්ත තුළටත් සිදු වෙයි.

  • රුධිර කේෂනාලිකා තුළට විසරණයෙන් පැමිණෙන O2 අණු රක්තාණු තුළ ඇති හිමොග්ලොබීන් සමග සම්බන්ධ වෙයි.
  • මෙහි දී O2 අණු 4ක් ප්‍රත්‍යාවර්ත ලෙස හිමොග්ලොබීන් අණුවක් සමග සම්බන්ධ වීමෙන් ඔක්සිහිමොග්ලොබින් හට ගනියි.

  • ගර්තික කේෂනාලිකාවලින් රුධිරය ඉවත් වන විට එහි ඇති O2 හා CO2 වල ආංශික පීඩනයක් ගර්තික වාතයේ ඇති එම වායූන්ගේ ආංශික පීඩන සමග සමතුළිතතාවක පවතී. ඉන් පසු එම රුධිරය හෘදයට ගමන් කර, සංස්ථානික පරිපථයට පොම්ප කෙරේ.
  • සංස්ථානික කේෂනාලිකා ඔස්සේ රුධිරය පටක කරා පැමිණි පසු එම රුධිරයේ, පටකවලට සාපේක්ෂව වැඩි O2 ආංශික පීඩන අගයක් හා අඩු CO2 ආංශික පීඩනයකින් යුතු ය.
  • මේ ආංශික පීඩන අනුක්‍රමණය නිසා රුධිර ධාරාවෙන් පටක වෙත O2 හි ශුද්ධ විසරණයත්, පටකවල සිට රුධිර ධාරාවට CO2 හි ශුද්ධ විසරණයත් අන්තරාල තරලය බහිෂ්සෛලීය තරලය හරහා සිදු වෙයි. මෙය O2  හර කිරීම හා  බැර CO2 කිරීම ලෙස හැඳින්වේ. ඉන්පසු එම රුධිරය නැවත හෘදයට පැමිණි පසු පෙනහලු වෙතට පොම්ප කිරීම සිදු වෙයි.

O2  හර කිරීම හා  බැර CO2

error: කොපි කරන්න තහනම්!!!