ශාක රාජධානිය

ශාක රාජධානියේ විවිධත්වය

ප්‍රධාන ශාක කාණ්ඩ අතර ඇති පරිණාමික බන්ධුතා

  • ප්ලාන්ටේ රාජධානියේ සාමාජිකයන් පරිණාමය වුයේ ක්ලෝරොෆයිටා/හරිත ඇල්ගී කණ්ඩායමකින් බව විශ්වාස කෙරේ. ඉන් බහුතරය භෞමික ජීවීහු ය. නමුත් හරිත ඇල්ගී භෞමික ශාකවල ඇති ප්‍රධාන ලක්ෂණ නොදරයි.
  • එලෙස භෞමික ශාකවල ඇති ප්‍රධාන ලක්ෂණ වන්නේ,
    1. බීජාණුධානි මගින් නිපදවනු ලබන බිත්ති සහිත බීජාණු 
    2. බහුසෛලික ජන්මාණුධානි
    3. පරාධීන කලලය 
    4. අග්‍රස්ථ විභාජක දැරීම යනාදියයි.
  • ඒවායේ පරිණාමය භෞමික පරිසරයක සිදු විය. විස්තෘත සනාල පටක පද්ධති පිහිටීම හෝ නොපිහිටීම මත ශාක කාණ්ඩ වෙන් කර හඳුනාගත හැකි ය. එම පදනම මත ප්‍රධාන ශාක කාණ්ඩ දෙකක් ඇත. ඒවා නම් සනාල ශාක හා විනාල ශාකයි.

ප්ලාන්ටේ රාජධානියේ විවිධාංගීකරණය

සනාල පටක රහිත ශාක/විනාල ශාක

  • වංශය – බ්‍රයෝෆයිටා – පාසි – Pogonatum
  • වංගය – හෙපටොෆයිටා – Marchantia
  • වංශය – ඇන්තොසෙරොෆයිටා – Anthoceros (අංශාක)

සනාල පටක දරන බීජ රහිත ශාක

  • වංශය – ලයිකොෆයිටා – Selaginella
  • වංශය – ටෙරොෆයිටා – Nephrolepis

සනාල පටක දරන බීජ ශාක 

විවෘත බීජක (Gymnosperms)

  • වංශය – සයිකඩොෆයිටා – Cycas විශේෂ
  • වංශය – කොනිෆෙරොෆයිටා – Pinus
  • වංශය – නීටොෆයිටා – Gnetum

ආවෘත බීජක – (Angiosperms)

  • වංශය – ඇන්තොෆයිටා (සියලු සපුෂ්ප ශාක )

විනාල ශාක

  • විවිධ ශාක කණ්ඩායම් එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා එක් ක්‍රමයක් වන්නේ ශාක දේහය පුරා ජලය හා පෝෂක පරිවහනය සඳහා විස්තෘත සනාල පටක පද්ධතියක් පවතියි ද නැත් ද යන බව සලකා බැලීමයි.
  • නූතන ශාක කාණ්ඩ බහුතරයක සංකීර්ණ සනාල ශාක පද්ධතියක් ඇති අතර, ඒවා සනාල ශාක වශයෙන් හඳුන්වනු ලැබේ. විශේෂණය වූ සනාල පටක පද්ධතියක් නැති ශාක විනාල ශාක ලෙස විස්තර කරනු ලැබේ.
  • විනාල ශාක බ්‍රයෝෆයිටා ලෙස නම් කරනු ලැබේ. උදා: Marchantia, Pogonatum, Anthoceros
  • බ්‍රයෝෆයිටාවන් සතුව සනාල ශාක පෙන්වන සමහර ලක්ෂණ පවතියි. එහෙත් ශාක දේහය සත්‍ය කඳ, මුල් හා පත්‍ර ලෙස විභේදනය වීම වැනි සනාල ශාක සතු ලක්ෂණ නොපෙන්වයි.

බ්‍රයෝෆයිටාහි විවිධත්වය

  • වංශය – බ්‍රයෝෆයිටා – පාසි – Pogonatum
  • වංගය – හෙපටොෆයිටා – Marchantia
  • වංශය – ඇන්තොසෙරොෆයිටා – Anthoceros (අංශාක)

බ්‍රයෝෆයිටා – පාසි

MarchantiaAnthoceros

Bryophyta වංශයේ ලක්ෂණ

Pogonatum ජන්මාණුක ශාක

  • උදා: පාසි – Pogonatum
  • විශේෂයෙන් තෙත්, භෞමික ස්ථානවල හමු වෙයි. ඒකගුණ ජන්මාණු ශාකය ප්‍රමුඛයි. එය ප්‍රභාසංස්ලේෂණය සිදු කරන ස්වාධීන ශාකයකි.
  • ජන්මාණු ශාකය ‘පත්‍ර’, ‘කඳ’ හා මුලාභ ලෙස විභේදනය වී ඇත. එහෙත් සනාල පටක රහිත ය.
  • වෙන් වෙන්ව පවතින ඡායා හා පුං ජන්මාණු ශාක මත අණ්ඩාණුධානි හා ශුක්‍රාණුධානි හට ගනියි. එනිසා මේ ජන්මාණු ශාක ද්විගෘහී ය. 
  • පුමාංගි ශාකය නිපදවන කශිකාධර ශුක්‍රාණු, සංසේචනය සඳහා තුනී ජල පටල තුළින් පිහිනා යයි. 
  • ළපටි කාලයේ දී බීජාණු ශාකය කොළ පැහැති ය. ප්‍රභාසංස්ලේෂණය සිදු කරයි. එහෙත් ඒවාට ස්වාධීනව ජීවත් විය නොහැකි වන අතර, ජනක ජන්මාණු ශාකයට සවි වී පෝෂක හා ජලය ඡායා ජන්මාණු ශාකයෙන් අවශෝෂණය කරයි. 
  • සියලු සනාල ශාකවල හමු වන පූටිකා ලෙස හඳුන්වනු ලබන විශේෂ සිදුරු ආකාරයක් බීජාණු ශාකවල දක්නට ඇත.
  • සමබීජාණුකය.
  • අමතර දැනුමට,

    Pogonatum ජීවන චක්‍රය

 

පෘථිවියේ පවතින ශාක විශේෂ අතුරින් 93% ක් සනාල ශාක ය. ඒවා තවදුරටත් කාණ්ඩ දෙකකට බෙදා ඇත.

  1. බීජ රහිත සනාල ශාක
  2. බීජ ශාක

බීජ රහිත සනාල ශාක

  • බීජ රහිත සනාල ශාකවල බීජ හට ගන්නේ නැති අතර, බීජාණු මගින් ප්‍රචාරණය වේ. මේ ශාක වර්ග දෙකකි.
  1. ලයිකොෆයිටා
  2. ටෙරෝෆයිටා
  • ටෙරෝෆයිටාවෝ හා ලයිකොෆයිටාවෝ බීජ රහිත ශාක ය. එහෙත් ටෙරෝෆයිටාවන් හා ලයිකොෆයිටාවගේ පොදු පූර්වජයාට වඩා මෑතකාලීන පොදු පූර්වජයකු ටෙරෝෆයිටා හා බීජ ශාකවලට ඇත.
  • ඩෙවෝනීය හා කාබොනිෆෙරස් අවධිවල ශාක පරිණාමය සිදු වූ බවට සාක්ෂි පොසිල මගින් හා ජීවමාන බීජ රහිත සනාල ශාක මගින් පෙන්නුම් කෙරේ.
  • සනාල ශාකවල පූර්වජයන් සතුව නූතන සනාල ශාකවලින් ව්‍යුත්පන්න ලක්ෂණ දක්නට ලැබේ. කෙසේ වෙතත් මුල් හා සමහර වෙනත් අනුවර්තන ඒවා සතු නොවේ.
  • එකම තරමේ ජන්මාණු ශාක හා බීජාණු ශාක සනාල ශාකවල පූර්වජයන් සතුව තිබුණ බවට සාක්ෂි පොසිල මගින් සැපයේ. එහෙත් ජීවමාන සනාල ශාකවල බීජාණු ශාක පරම්පරාව ජන්මාණුශාක පරම්පරාවට වඩා විශාල වන අතර, වඩා සංකීර්ණ ද වේ.  උදාහරණයක් ලෙස: මීවන ශාකවල, පත්‍ර සහිත ශාකය බීජාණු ශාකයයි.

බීජ නොදරන සනාල ශාකවල වැදගත් ලක්ෂණ

  1. ශෛලම හා ප්ලෝයම ඔස්සේ ද්‍රව්‍ය පරිවහනය
  • ශෛලම හා ෆ්ලෝයම ලෙස සනාල පටක දෙවර්ගයකි.
  • ශෛලම:  වාහකාභ තන්තු හා මෘදු ස්තර සෛලවලින් සමන්විතයි: ජලය හා ඛනිජ පරිවහනය සිදු කරයි.
  • වාහකාභ හා ශෛලමීය තන්තුවල සෛල බිත්ති ලිග්නින් යන බහු අවයවිකයෙන් ශක්තිමත් වී ඇත.
  • මේ පටක, ශාකවලට උසට වැඩීමට අවස්ථාව සලස්වයි. එමඟින්,
    1. ප්‍රභාසංශ්ලේෂණය සඳහා වැඩි ආලෝක ප්‍රමාණයක් ලබා ගැනීමට ශාකවලට හැකියාවක් ලැබී ඇත.
    2. බීජාණු පහසුවෙන් ව්‍යාප්ත කිරීමට දායක වේ.
  • ෆ්ලෝයම: නාළ ලෙස සංවිධානය වූ සෛල දරන පටකයකි. මේ පටකය මගින් සීනි වර්ග, ඇමයිනෝ අම්ල හා අනෙකුත් කාබනික නිෂ්පාදන ශාකයේ විවිධ කොටස් වෙත බෙදා හරියි.
  1. මුල්වල පරිණාමය
  • මුල් යනු ජලය හා ඛනිජ පසෙන් අවශෝෂණය කරන හා ප්‍රරෝහ පද්ධතිය උසින් වර්ධනය වීමට අවස්ථාව සලසමින් ශාක පසට සවි කර තබන අවයවය වෙයි. බ්‍රයෝෆයිටාවන් හි තිබුණු මූලාභ මුල් මගින් ප්‍රතිස්ථාපනය වී ඇත. ෆොසිල ලෙස සංරක්ෂණය වී ඇති ආදි සනාල ශාක කඳන්වල පටක සැකැස්ම වර්තමාන ශාක මුල පටක සැකැස්මට සමානය.
  1. පත්‍රවල පරිණාමය
  • ශාකවල ආකාර දෙකක පත්‍ර ඇත. ඒ ක්ෂුද්‍ර පත්‍ර හා මහා පත්‍ වශයෙනි. ක්ෂුද්‍ර පත්‍ර තනි නාරටියක් දරන, ප්‍රමාණයෙන් කුඩා ඒවා වන අතර, මහා පත්‍ර විශාලපැතලි, අතු බෙදුණු, නාරටි සහිත ඒවා ය. අතු බෙදුණු සනාල පටක සහිත පත්‍ර (මහා පත්‍රකාර්යක්ෂම ප්‍රභාසංශ්ලේෂණයක් සඳහා අවශ්‍ය පෘෂ්ඨිය වර්ගඵලය වැඩි කර දෙයි.

බීජාණුපත්‍ර හා බීජාණුවල ප්‍රහේදන

  • බිජාණුධානි දැරීමට විකරණය වූ පත්‍ර බීජාණුපත්‍ර නම් වේ.
  • බොහෝ බීජ රහිත සනාල ශාක විශේෂ එක් වර්ගයක බීජාණු නිපදවන එක් වර්ගයක බීජාණුධානිවලින් සමන්විත බැවින් එය සමබීජාණුකතාව ලෙස හඳුන්වනු ලැබේ.
  • සමහර ශාක විශේෂ දෙවර්ගයක බීජාණුධානි, ක්ෂුද්‍ර බීජාණු හා මහා බීජාණු ලෙස දෙවර්ගයක බීජාණු නිපදවන බැවින් එම තත්වය විෂම බීජාණුකතාව ලෙස හඳුන්වනු ලැබේ. මහා බීජාණු ඡායා ජන්මාණු ශාකය බවටත්, ක්ෂුද්‍ර බීජාණු පුං ජන්මාණු ශාකය බවටත් විකසනය වෙයි.

වංශය – ලයිකොෆයිටා

  • ලයිකොෆයිටාවන් භෞමිකවාසීන් වන අතර, සමහර ශාක මත අපිශාක ලෙස වැඩෙයි.
  • ප්‍රමුඛ ශාකය බීජාණු ශාකය වේ.
  • ඒවා ඍජු කඳන් හා පොළොවේ වැතිරී වැඩෙන කඳන් දරයි.
  • ඍජු කඳෙහි කුඩා පත්‍ර ඇත.
  • පොළොවේ වැතිරී වැඩෙන කඳ, දෙබෙදුම් ලෙස බෙදෙන මුල් නිපදවයි.
  • මේ ශාක සංකේතු දරයි.
  • බොහෝ ගදා පාසිවල හා ශුකි පාසිවල බීජාණු පත්‍ර ඒකරාශී වී ගදා හැඩති සංකේතු නිපදවා ඇත.
  • සමබීජාණුක හෝ විෂබීජාණුක ය.

ශුකි පාසි (Spike mosses)

  • සාමාන්‍යයෙන් සාපේක්ෂ ලෙස කුඩා වන අතර, බොහෝ විට තිරස්ව වර්ධනය වේ.
  • ශුකි පාසි (Spike mosses) විශේෂ සියල්ල විෂම බීජාණුක ය. උදා:- Selaginella

ගදා පාසි (Club Mosses)

  • සියල්ල සමබීජාණුක ය. උදා: Lycopodium

සමහර විශේෂවල කුඩා ජන්මාණු ශාකය පස මත ජීවත් වන අතර, ප්‍රභාසංශ්ලේෂණය කරයි. අනෙක් විශේෂ පස යට ජීවත් වෙයි. සහජීවී දිලීර මගින් පෝෂණය ලබයි.

අමතර දැනුමට,

Selaginella ජීවන චක්‍රය 

වංශය – ටෙරොෆයිටා

  • බොහෝ බීජාණු ශාක භූගත රයිසෝම දරයි (භූගත කඳකි).
  • රයිසෝමය කෙළවරින් පත්‍ර (fronds) නිපදවෙයි, බහුතරයක් සංයුක්ත පත්‍ර වල පත්‍ර තල අතිශයින්ම විච්ඡේදනය වී ඇති අතර, පිහාටු ආකාර ය.
  • සියලු විශේෂ සමබීජාණුක වන අතර, ඒවා ද්විලිංගික ජන්මාණු ශාක බවට විකසනය වේ.
  • බීජාණුශාකය ප්‍රමුබයි. උදා: Nephrolepis

අමතර දැනුමට,

Nephrolepis ජීවන චක්‍රය 

බීජ ශාක

  • බීජ සහිත සනාල ශාක බීජ ශාක නම් වේ.
  • ජීවමාන ශාක විශේෂ අතර, බහුතරය මේ ශාක මඟින් නියෝජනය කෙරේ.
  • බීජ පරිණතියට පත් වීම සඳහා වැසුණු කුටීරයක් සහිත බව හෝ රහිත බව පදනම් කර ගෙන බීජ ශාක කාණ්ඩ දෙකකට බෙදනු ලැබේ. ඒවා නම්,
    1. විවෘත බීජක
    2. ආවෘත බීජක

විවෘත බීජ ශාක, නග්න බීජ ශාක නම් වන අතර, ඒවායේ බීජ කුටීර තුළ වැසී නොපවතී.

සියලු සපුෂ්ප ශාක ආවෘත බීජක (බීජ ශාක) කාණ්ඩයට අයත් වේ. ආවෘත බීජක ශාකවල බීජ, ඩිම්බකෝෂ නමැති කුටීර තුළ විකසනය වෙයි. ඩිම්බකෝෂ පුෂ්පය තුළින් සම්භවය ලබා ඵල බවට පරිණත වෙයි.

බීජ ශාකවල වැදගත් ලක්ෂණ

1. බීජ නිෂ්පාදනය

  • බීජ සමන්විත වී ඇත්තේ කලලය හා භ්‍රෑණපෝෂයෙනි.
  • කලලයට ආහාර සැපයෙන්නේ භ්‍රෑණපෝෂය මගිනි.
  • බීජාවරණ ලෙස හැඳින්වෙන ආරක්ෂක ආවරණවලින් භ්‍රෑණපෝෂය ආවරණය වී පවතී.
  • බීජ පරිණත වූ විට විවිධ ව්‍යාප්ත ක්‍රම ආධාරයෙන් ඒවා විසිර යයි.
  • වර්තමානයේ ගොඩබිම පරිසරයේ විශාල විවිධත්වයකට හිමිකම් කියන, ප්‍රමුඛ නිෂ්පාදකයන් බවට පත් වීම සඳහා හේතු වන බීජ ශාකවල දක්නට ලැබෙන මූලික අනුවර්තතනය ලෙස බීජ හැඳින්විය හැකි ය.

2. ක්‍ෂීණ වූ ජන්මාණු ශාකය

  • සනාල ශාකවලින් බීජශාක පරිණාමයට මග සලසමින් ජන්මාණු ශාකය ක්ෂීණ වීමේ පරිණාමික ප්‍රවණතාව නොකඩවා සිදු විය.
  • බීජ සහිත සනාල ශාකවල ජන්මාණු ශාකය පියවි ඇසට නොපෙනේ. ඒවා බොහෝ දුරට අන්වීක්ෂීය වේ.
  • බීජාණුවලින් හට ගත් කුඩා ජන්මාණු ශාකය බීජාණු ශාකයේ වූ බීජාණුධානිය තුළ ම රැඳී පවති.
  • මේ නිසා පාරිසරික ආතති තත්වවලින් ජන්මාණු ශාකය ආරක්ෂා වේ.
  • බීජාණු ශාකයේ තෙත් ප්‍රජනක පටක මගින් ජන්මාණු ශාකය වියළීමෙන් හා පාරජම්බුල කිරණවලින් ආරක්ෂා කරයි.
  • මේ සම්බන්ධතාව මඟින් පරාධීන ජන්මාණු ශාකයට බීජාණු ශාකයෙන් පෝෂක ලබා ගැනීමට හැකියාව සලසා දී ඇත.

3. විෂමබීජාණුකතාව

  • බීජ ශාක විෂමබීජාණුකයි (ක්ෂුද්‍ර හා මහා බීජාණු නිපදවයි).
  • සෑම මහා බීජාණුධානියක ම තනි කෘත්‍යමය මහා බීජාණුවක් ද, සෑම ක්ෂුද්‍ර බීජාණුධානියක ම ක්ෂුද්‍ර බීජාණු විශාල සංඛ්‍යාවක් ද අන්තර්ගත ය.

4. ඩිම්බ හා අණ්ඩ නිපදවීම

  • මහාබීජාණුධානිය, ජනක බීජාණුශාකය තුළම රඳවා ගැනීම බීජ ශාකවල අනන්‍ය ලක්ෂණයකි.
  • මහාබීජාණුධානිය ආරක්ෂා කරන ලබන බීජාණු ශාක පටක ස්තරය ඩිම්බාවරණ ලෙස හඳුන්වනු ලබයි.
  • මහාබීජාණුධානිය, මහාබීජාණුව හා ආවරණ පටල යන සියල්ල එක්ව සැලකූ විට එය ඩිම්බය ලෙස හැඳින්වේ.
  • සෑම ඩිම්බයකම මහාබීජාණුවෙන් නිපදවෙන ඡායා ජන්මාණු ශාකය හා ඒ තුළ අඩංගු අණ්ඩ එකක් හෝ කිහිපයක් අන්තර්ගත වේ.

5. පරාග කණිකා හා ශුක්‍රාණු නිපදවීම

  • ක්ෂුද්‍ර බීජාණු පරාග කණිකා බවට විකසනය වේ.
  • එහි පරාග බිත්තියෙන් වට කර ගත් පුං ජන්මාණු ශාක අන්තර්ගත වේ.
  • ස්පොරොපොලිනින් නමැති බහු අවයවිකයෙන් ඝන වූ බිත්ති නිසා පරාගණයේ දී පරාග කණිකා ආරක්ෂා වෙයි.
  • පරාග කණිකාව ප්‍රරෝහණය වන විට විකසනය වන පරාග නාළය මගින් අණ්ඩපය තුළ අඩංගු ඡායා ජන්මාණු ශාකය තුළට ශුක්‍රාණු (පුං ජන්මාණු) නිදහස් කරයි.
  • පරාග කණිකාව තුළ, ශුක්‍රාණු නිපදවන පුං ජන්මාණු ශාකය අඩංගු ය.
  • ශුක්‍රාණු ඍජුව ම පරාග නාළය ඔස්සේ පරිවහනය වන නිසා බීජ ශාකවල ශුක්‍රාණුවලට චලභාවයක් අවශ්‍ය නොවේ.
  • එහෙත් සමහර විවෘත බීජක ශාක (Gymnoseperms) කශිකාධර ශුක්‍රාණු දැරීමේ පුරාතන ලක්ෂණය සහිත ය.
  • සියලු ආවෘත බීජක ශාක හා බොහෝ විවෘත බීජක ශාක ශුක්‍රාණු කශිකා නොදරයි.

වංශය – නීටොෆයිටා – Gnetophyta

  • උදා: Gnetum
  • ශෛලමයේ වාහිනී දරන එකම විවෘත බීජක ආකාරය මෙය වේ.
  • මේවායේ පත්‍ර සපුෂ්ප ශාක පත්‍ර වැනි පෙනුමක් ගනී.
  • ඒවායේ බීජය ද ආවෘත බීජක ඵලයක් වැනි පෙනුමක් උසුලයි.

වංශය – සයිකඩොෆයිටා – Cycadophyta

  • උදා: Cycas
  • තාල වර්ගයට අයත් ශාක පත්‍රවලට සමාන පෙනුමක් ඇති පත්‍ර හා විශාල කේතු ඇත.
  • බීජ රහිත සනාල ශාකවලට සමාන ලෙස කශිකාධර ශුක්‍රාණු ඔවුන් සතු ය.

වංශය – කොනිෆෙරොෆයිටා – Coniferophyta

  • උදා: Pinus ,රෙඩ්වුඩ් හා සයිප්‍රස් වැනි විශාල ශාක ඇතුළත් වේ.
  • වෙන්ව පවතින කේතුවල බීජාණු ආකාර දෙකක් නිපදවයි.

වංශය – ඇන්තොෆයිටා -Anthophyta

  • පුෂ්ප නිපදවීම.
  • රේණුවල පරාග කණිකා බවට විකසනය වන ක්ෂුද්‍ර බීජාණු නිපදවයි. පරාග කණිකාවල පුංජන්මාණු අන්තර්ගත ය.
  • අණ්ඩප තුළ මහා බීජාණු නිපදවයි.
  • මේ මහා බීජාණු ඡායාජන්මාණු ශාකය/ කලල කෝෂය නිපදවයි.
  • බීජ අණ්ඩප තුළ පිහිටයි.
  • ඵල නිෂ්පාදනය – ඵල තුළ බීජ ආරක්ෂාකාරි ලෙස පිහිටන අතර, ඵලය බීජ ව්‍යාප්තියට ද උපකාරි වේ. මෙය ඇන්තොෆයිටා වංශයේ අනන්‍ය ලක්ෂණයකි. දර්ශීය වශයෙන් ඵලය තුළ සංසේචිත ඩිම්බය හා පුෂ්පයේ සමහර අප්‍රපතන කොටස් සහිත වේ. සංසේචනය සිදු වීමෙන් පසු ඩිම්බකෝෂයේ බිත්තිය ඝනකම් වන අතර, ඵලය බවට වර්ධනය වේ. ඩිම්බ බීජ බවට විකසනය වේ. ඵලය මගින් සුප්ත බීජ ආරක්ෂා කරන අතර, බීජ ව්‍යාප්තියට ආධාර කරයි.

ආවෘත බීජක විවිධත්වය

කලලයේ ඇති බීජ පත්‍ර සංඛ්‍යාව අනුව සපුෂ්ප ශාක කාණ්ඩ දෙකකට බෙදා ඇත.

  1. ඒක බීජපත්‍රී – එක් බීජ පත්‍රයක් සහිත කලලය
  2. ද්වි බීජපත්‍රී – බීජ පත්‍ර දෙකක් සහිත කලලය

ඒකබීජ පත්‍ර හා ද්විබීජ පත්‍ර ලක්ෂණ

 

error: කොපි කරන්න තහනම්!!!