25min
Lesson Progress
0% Complete
රෝපණ මාධ්‍යය සකස් කිරීම
නොසේදූ අතක සිටි ක්ෂූද්‍ර ජීවීන්
“ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථාන වන පස, ජලය හෝ වාතයේ පැවතිය දී ක්ෂුද්‍රජීවීන් අධ්‍යයනය කළ නොහැකි ය. එබැවින් ඔවුන්ගේ වර්ධනයට හා ප්‍රජනනයට අවශ්‍ය තත්ත්වයන් කෘත්‍රිමව සපයා දෙමින් ක්ෂුද්‍රජීවීන් පරීක්ෂණාගාර තුළට රැගෙන ඒමට අවශ්‍ය විය.”
–සම්පත් පොත.
ස්වභාවික වාසස්ථානයෙන් ගන්න නිදර්ශකයකින් ක්ෂුද්‍ර ජීවීන් අධ්‍යයනය කරන්න බැරි ඇයි?
- නිදර්ශකයේ ක්ෂූද්‍ර ජීවී වර්ග ගණනාවක් සිටින බැවින් ඔවුන් වෙන්කර හඳුනාගත නොහැකි නිසා.
- ක්ෂූද්‍රජීවීන් බොහෝ විට අවර්ණ බැවින් වර්ණ ගැන්වීමකින් තොරව අන්වීක්ෂයෙන් හඳුනාගැනීමට නොහැකි නිසා.
- නිදර්ශකය තුළ ප්‍රමාණවත් තරම් අවශ්‍ය ක්ෂුද්‍ර ජීවී විශේෂය නොමැති වීම නිසා.
එ අනුව,
- නිරීක්ෂණයට පහසු වෙන විදිහට,අනික් ක්ෂූද්‍ර ජීවීන්ගෙන් වෙන් කරගන්නත් , සංඛ්‍යාව ගුණනය කර ගන්නත් තමයි ප්‍රධාන වශයෙන්ම ක්ෂූද්‍ර ජීවීන් රෝපණ මාධ්‍යයක වගා කරන්නේ.
රෝපණ මාධ්‍යයක් යනු :
- පරීක්ෂණාගාර තත්ත්ව යටතේ ක්ෂුද්‍රජීවීන් වර්ධනයට අත්‍යවශ්‍ය වන, පෝෂණය හා රැඳී සිටීම සපයා දෙන පෝෂණ ද්‍රව්‍ය රෝපණ මාධ්‍යය ලෙස හඳුන්වයි.
රෝපණය කළ නොහැකි ක්ෂුද්‍රජීවීන්
- ඇතැම් ක්ෂුද්‍රජීවීන් පරීක්ෂණාගාර රෝපණ මාධ්‍යවල වර්ධනය කළ නොහැකි ය. ඔවුන්ව රෝපණය කළ නොහැකි ක්ෂුද්‍රජීවීන් ලෙස හඳුන්වයි.
- සමහර ක්ෂුද්‍රජීවීන් ඕනම රෝපණ මාධ්‍යයක දී හොඳින් වර්ධනය වන අතර, අනෙකුත් ක්ෂුද්‍රජීවීන් වගා කිරීම සඳහා විශේෂිත මාධ්‍ය අවශ්‍ය වෙයි.
රෝපණ මාධ්‍යයක පැවතිය යුතු සාධක හා තත්ත්ව
- පෝෂක
- ප්‍රමාණවත් තෙතමනය
- උචිත pH අගය
- මාධ්‍යය කිසිම සජීවී ක්ෂුද්‍රජීවියකු අඩංගු නොවන පරිදි ජීවාණුහරණය කර තිබීම. (මේ නිසා රෝපණ මාධ්‍යයක් සකස් කිරීමේ දී සියලු වීදුරු උපකරණ හා දියරමය පෝෂක ද්‍රාවණ ජීවාණුහරණය කළ යුතු ය.)
- රෝපණ මාධ්‍යය නියමිත උෂ්ණත්වයක පවත්වා ගැනීමද අවශ්‍ය වේ. (සම්පත් පොතේ සඳහන් නොවේ.)
රෝපණ මාධ්‍යයක් පිළියෙල කරගන්නා ආකාරය
සුලභව භාවිතා කරන රෝපණ මාධ්‍ය
බැක්ටීරියා හා දිලීර වර්ධනය කිරීමට සුලභව භාවිත කරන්නේ පිළිවෙළින් පෝෂ්‍ය ඒගාර් හා අර්තාපල් ඩෙක්ස්ට්‍රෝස් ඒගාර් යන මාධ්‍ය දෙකයි.
01. පෝෂ්‍ය ඒගාර් මාධ්‍යය
- පෝෂ්‍ය ඒගාර් සාදා ඇත්තේ පෙප්ටෝන, මාංස නිස්සාරකය, සෝඩියම් ක්ලෝරයිඩ්, ඒගාර් හා ආස්‍රත ජලයෙනි.
- බහුලව බැක්ටීරියා රෝපණයට භාවිත කරයි.
- පෙප්ටෝන හා මාංස නිස්සාරකය – ක්ෂූද්‍ර ජීවින්ගේ වර්ධනයට අවශ්‍ය විටමින, ඛණිජ ලවණ හා පෝෂක අඩංගු වේ.
- NaCl – ආස්‍රැති විධානය පවත්වා ගැනීමට.
02. අර්තාපල් ඩෙක්ස්ට්‍රෝස් ඒගාර්
- අර්තාපල් ඩෙක්ස්ට්‍රෝස් ඒගාර් සාදා ඇත්තේ අර්තාපල්, ග්ලූකෝස්, ඒගාර් හා ආස්‍රැත ජලයෙනි.
- බහුලව දිලීර රෝපණයට භාවිත කරයි.
ඒගාර්
- පොලිසැකරයිඩයකි.
- රතු ඇල්ගාවන්ගෙන් නිපදවා ගනී.
- ඒගාර් භාවිත කරන්නේ ඝනිකාරකයක් ලෙස ය.
- ඒගාර් බැක්ටීරියා සහ දිලීර සඳහා උපස්තරයක් ලබා දේ.
- 40°C අඩු උෂ්ණත්වවල දී ඒගාර් ඝනිකරණය වන බැවින් ඒගාර් සහිත මාධ්‍යයන් ඝන මාධ්‍යයන් වේ.
- සාමාන්‍යයෙන් ක්ෂුද්‍රජීවීන් වර්ධනය සඳහා ඝන රෝපණ මාධ්‍යය අඩංගු වන්නේ පෙට්‍රි දීසි හෝ පරීක්ෂණ නළ තුළය.
ක්ෂූද්‍රජීවීන් වගා කරන ලද ඝන රෝපණ මාධ්‍යයක්
ද්‍රව රෝපණ මාධ්‍යයක්
ක්ෂුද්‍ර ජීවීන් වර්ණ ගැන්වීමේ වැදගත්කම
- කලින් සඳහන් කල පරිදි බොහොමයක් ක්ෂුද්‍රජීවීහු සම්මත ආලෝක අණ්වීක්ෂයෙන් නිරීක්ෂණයේ දී අවර්ණව දර්ශණය වන හෙයින් නිරීක්ෂණය සඳහා ඔවුන්ගේ නියැදි සකස් කළ යුතුය.
- ඉන් එක් ක්‍රමයක් ලෙස වර්ණ ගැන්වීම හැඳින්විය හැක.
- ඩයි වර්ගයක් (වර්ණකයක්) භාවිතයෙන් ක්ෂුද්‍රජීවීන් වර්ණගන්වනු ලැබේ.
- වර්ණ ගැන්වීමට පෙර, ක්ෂුද්‍රජීවීහු වීදුරු කදාවට තිර කිරීම ( ඇලවීම) කළ යුතුය.
- එක් මූලික ඩයි වර්ගයක් සහිත ජලීය හෝ මධ්‍යසාර ද්‍රාවණයක් සරල වර්ණකයකි.
- වර්ණ ගැන්වීමේ මූලික අරමුණ වන්නේ : ක්ෂුද්‍රජීවීයා මුලුමනින්ම ඉස්මතු කර දැක්වීම මඟින් සෛල හැඩය, සෛල සැකැස්ම මූලික ව්‍යුහ දෘෂ්‍යමානවීමට සැලැස්වීමයි.
ක්ෂුද්‍ර ජීවීන් වර්ණ ගැන්වීමේ පියවර
- ආක්‍රමණික පුඬුවක් ආධාරයෙන් බැක්ටීරියා රෝපණයකින් ලබා ගත් ඉතා කුඩා ප්‍රමාණයක්, කදාවක් මත තුනී තැවරුමක්/ අඳුනක් ලෙස පිළියෙල කිරීම.
- අඳුන වාතයේ වියළීම.
- අඳුන තාපය මඟින් තිර කිරීම. (ක්ෂූද්‍ර ජීවී සෛල කදාවට තදින් සවි වීමට/තිර වීමට.)
- වර්ණකයක් එක් කර තත්පර 30ක් පමණ තැබීම. ( ක්ෂූද්‍ර ජීවී සෛල වර්ණ ගැන්වීමට)
- අඳුන ජලයෙන් සේදීම හා වියළීම. (සෝදන්නේ අමතර වර්ණක ඉවත් වීමටය. වියළන්නේ ජලය සම්පූර්ණයෙන් ඉවත් කිරීමටය)
- අන්වීක්ෂයෙන් පරීක්ෂා කිරීම.
ක්ෂුද්‍ර ජීවීන් වර්ණ ගැන්වීමේ නිවැරදි ක්‍රමය
විද්‍යාගාරයේ දී බහුලව භාවිත වන සරල වර්ණක වර්ග
- මෙතිලින් බ්ලූ
- ක්‍රිස්ටල් වයලට්
- සැෆ්රනින්
ක්ෂූද්‍ර ජීව විද්‍යාවේ මූලික පරීක්ෂණාගාර තාක්ෂණික ශිල්ප ක්‍රම මෙම කොටසින් අවසන්. ඊළඟට “ක්ෂූද්‍ර ජීවීහු සහ රෝග” වලින් හමුවෙමු.
ගයාන් රත්නසූරිය
B.Sc. (University of Colombo)