මූලික පරීක්ෂණාගාර තාක්ෂණික ශිල්ප ක්‍රම – ජීවාණුහරණය

මූලික පරීක්ෂණාගාර තාක්ෂණික ශිල්ප ක්‍රම

    • ක්ෂුද්‍රජීවීන්ගේ ජෛව රසායනික ගති ලක්ෂණ හා රූප විද්‍යාව අධ්‍යයනය සඳහා ඔවුන් කෘත්‍රිම මාධ්‍ය මත රෝපණය කිරීම අත්‍යවශ්‍ය ය.
    • අපවිත්‍ර වීමකින් තොරව මෙන්ම බාහිර පරිසරයට නිදහස් නොවන ලෙසත්  අවශ්‍ය ක්ෂුද්‍රජීවීන් රෝපණය කිරීමට අනුගමනය කළ යුතු, කෘත්‍රිම රෝපණ මාධ්‍ය සකස් කිරීම හා ජීවාණුහරණ ක්‍රමවේදයන් වැනි විද්‍යාගාරවල සිදු කෙරෙන තාක්ෂණයන් ඇත.
    • මේ කොටසේ දී එවැනි මූලික තාක්ෂණ ශිල්පක්‍රම විස්තර කෙරෙයි.

ජීවාණුහරණ ක්‍රම

ජීවාණුහරණය යනු :

  • රෝපණ මාධ්‍යයක හෝ ඕනෑම ද්‍රව්‍යයක, ද්‍රවයක හෝ ස්ථානයක පවතින  අන්තඃබීජාණු ද ඇතුළත්ව සියලු ආකාරයේ ක්ෂුද්‍රජීවීන් විනාශ කිරීමේ හා ඉවත් කිරීමේ ක්‍රමවේදය ජීවාණුහරණය නම් වේ.

ජීවාණුහරණ ආකාර දෙකකින් සිදු කළ හැකිය.

  1. භෞතික ක්‍රම
  2. රසායනික ක්‍රම

ජීවාණුහරණයෙහි භෞතික ක්‍රම

  • ඉහළ තාපයට, සමහර විකිරණ වලට නිරාවරණය හෝ පෙරීම වැනි භෞතික ක්‍රම භාවිතා කිරීම මෙහිදී සිදු වේ.
  • තෙත් තාපය, වියළි තාපය, පටල පෙරහන් භාවිතයෙන් පෙරීම, පාරජම්බුල විකිරණවලට නිරාවරණය කිරීම මේවායෙන් කිහිපයකි.

 01. තෙත් තාප ජීවාණුහරණය

උපකරණ :

  • පීඩතාපකය(Autoclave)

ක්‍රමය :

  • උෂ්ණත්වය 121°C වාෂ්ප මඟින් හා වා.ගෝ. 1 / 15 psi (වර්ග අඟලට රාත්තල්) පීඩනයක් යටතේ මි. 15ක් ජීවාණුහරණය කරයි.

පීඩතාපකයේ ක්‍රියාකාරීත්වය

මූලධර්මය :

  • අධික උෂ්ණත්ව හා පීඩන භාවිත කරමින් ක්ෂුද්‍රජීවීන්ගේ ප්‍රෝටීන අස්වාභාවිකරණය කිරීම.

ජීවාණුහරණය කරන්නේ : 

  • ඉහළ උෂ්ණත්ව හා පීඩනයට ඔරොත්තු දිය හැකි – රෝපණ මාධ්‍ය, ද්‍රාවණ, සිරින්ජ හා ඉදිකටු, සෞඛ්‍ය ආරක්ෂක උපකරණ හා අනෙකුත් අයිතමයන්.
  • වීදුරු උපකරණ – සම්පූර්ණ පෘෂ්ඨය ම හුමාලය ගැටෙන බවට සහතික කළ හැකි නම් පමණි.
  • සාමන්‍ය විද්‍යාගාර තුළ ජලය ද මෙම ක්‍රමයෙන් ජීවාණුහරණය කරයි.

විශේෂ කරුණු:

  • ප්‍රියෝන හැර සියලු ක්ෂුද්‍රජීවීන් හා ඔවුන්ගේ අන්තඃබීජාණු විනාශ කිරීමට මේ තත්ත්වයන් මි. 15ක් පවත්වා ගෙන යෑම ප්‍රමාණවත් ය.

02. වියළි තාප ජීවාණුහරණය

මෙය ක්‍රම කිහිපයකින් සිදු කරයි. ඒවා එකින් එක විමසා බලමු,

(i) විවෘත දැල්ල
  • මෙය වියළි තාප ජීවානුහරණයේ සරලතම ක්‍රමයයි.

උපකරණ :

  • බන්සන් දාහකය/ ස්ප්‍රීතු ලාම්පුව (ඇතැම් විට සාන්ද්‍ර මධ්‍යසාර)

ක්‍රමය :

  • ආක්‍රමණ පුඩු, ආක්‍රමණ කටු හා සැත බන්සන් දැල්ලෙන්/ ස්ප්‍රීතු ලාම්පු දැල්ලෙන් රක්තතප්ත වන තෙක් රත් කිරීම.
ආක්‍රමණ/ආමුකූලන කටුවක් ජීවානුහරණය කරන ආකාරය

ආක්‍රමණ/ආමුකූලන පුඬුවක් ජීවානුහරණය කරන ආකාරය

සැතක් සහ සැත් අඬුවක් ජීවානුහරණය කරන ආකාරය
  • බොහෝවිට සාන්ද්‍ර මධ්‍යසාර වලින් තෙත් කර ඒවා දල්වයි. කෙලින්ම දැල්ලේ රක්තතප්ත වන තුරු  රත් කිරීමද සිදු කල හැක. පහත ඇත්තේ මධ්‍යසාර භාවිතා කර සැතක් හා සැත් අඬුවක් ජීවාණුහරණය කරන අන්දමයි.

ජීවාණුහරණය කරන්නේ : 

  • ආක්‍රමණ පුඩු, ආක්‍රමණ කටු, සැත, සැත් අඬුව

විශේෂ කරුණු :

  • විවෘත දැල්ලෙන් දැවීමේදී ක්ෂුද්‍රජීවීහු දැවී අළු බවට පත් වෙති.
  • ආක්‍රමණ පුඩුව, ආක්‍රමණ කටුව යනු ක්ෂුද්‍ර ජීවීන් එක් මාධ්‍යයක සිට වෙනත් මාධ්‍යයකට ගෙන යාමට භාවිත කරන උපකරණ වේ.
(ii) භස්මීකරණය

උපකරණය :

  • භස්මීකරණ උදුන බොහෝ විට යොදා ගනී.

භාවිතා වන අවස්ථා :

  • ආරෝග්‍යශාලා අපද්‍රව්‍ය ජීවාණුහරණයට  සඳහා මේ ක්‍රමය භාවිත කරයි.
  • Covid-19 වැනි වෛරස ආසාදනයෙන් මිය ගිය අයගේ දේහද භස්මීකරණයට ලක් කරයි.

විශේෂ කරුණු :

  • භස්මීකරණයේ දී ද ක්ෂුද්‍රජීවීහු දැවී අළු බවට පත් වෙති.
  • භෂ්ම යනු අළුය. භෂ්මීකරණය යනු අළු බවට පත් කිරීමයි.
(iii) උණුසුම් වායු ජීවාණුහරණය

උපකරණ :

  • වියළි වායු උදුනක්

ක්‍රමය :

  • වියළි වායු උදුනක 170°C පමණ  උෂ්ණත්වයක පැය දෙකක් පමණ ජීවාණුහරණය කිරීම.
  • උපකරණ උදුන තුළ තැන්පත් කරන්නේ කඩදාසි වල එතීමෙන් පසුවය.( අංශුමය දෑ තැන්පත් වීම වැළැක්වීමට.)

මූලධර්මය :

  • ක්ෂුද්‍රජීවීන් ඔක්සිකරණය මගින් මරා දමයි.

ජීවාණුහරනය කරන්නේ :

  • පෙට්‍රි දීසි
  • ෆ්ලාස්කු,
  • බීකර
  • බෝතල්
  • පිපෙට්ටු වැනි වීදුරු භාණ්ඩ.

03. පැස්ටරීකරණය

  • නිෂ්පාදිතයේ රස, වයනය හා පෝෂක අන්තර්ගතයට විශාල හානි සිදු නොවන පරිදි ක්ෂුද්‍රජීවීන් විනාශ කිරීම සඳහා තාපය අධික නොවන ලෙස යෙදීමෙන් බීර හා වයින් නරක් වීම වැළැක්විය හැකි බව ලුවී පාස්චර් විසින් සොයා ගන්නා ලදි.
  • වර්තමානයේ පැස්ටරීකෘත කිරි ලෙස හඳුන්වන කිරි නිෂ්පාදනය සඳහා ද ඒ මූලධර්මය භාවිත කර ඇත.
  • පැස්ටරීකරණය සාර්ථක ජීවාණුහරන ක්‍රමයක් නොවේ. එයට හේතුව බහුලවම භාවිතා කරන පැස්ටරීකරණ ක්‍රම වලදී ක්ෂුද්‍ර ජීවීන් සහ අන්තඃ බීජාණු විනාශ නොවීම නිසාය.

කිරි පැස්ටරීකරණයේ අභිමතාර්ථ :

  • ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවීන් ඉවත් කර හා ක්ෂුද්‍රජීවීන් සංඛ්‍යාව අඩු කර ශීතකරණ තත්ත්ව යටතේ කිරිවල ගුණාත්මක භාවය දිගුකාලීනව පවත්වා ගැනීමයි.

කිරි පැස්ටරීකරණ යන්ත්‍රයක්

පැස්ටරීකරණ ක්‍රම තුනකි. ඒවා නම්,

  1. අධිඋෂ්ණත්ව, කෙටිකාලීන (High Temperature Short Time – HTST) පැස්ටරිකරණය : අවම වශයෙන් 72 °C තත්පර 15ක කාලයක් තුළ පවත්වා ගැනීම.
  2. අඩු උෂ්ණත්ව දිගු කාලීන (Low Temperature Long Time – LTLT) පැස්ටරිකරණය : 63 °C උෂ්ණත්වයක මිනිත්තු 30ක කාලයක් තුළ පවත්වා ගැනීම.
  3. ඉතා ඉහළ උෂ්ණත්ව  (Ultra High Temperature – UHT) පැස්ටරිකරණය : වේගයෙන් විදෙමින් පැතිරෙන (flashing) හුමාලයෙන් 140 °C තත්පර 5ට වඩා අඩු කාලයක් කිරි රත් කිරීම මෙහි දී සිදු කරයි.  කිරි ශීතකරණයකින් බැහැරව මාස ගණනක් තබා ගත හැකි වේ.

ජීවාණුහරණය කරන්නේ :

  1. කිරි
  2. බියර්
  3. වයින්

04. තැම්බීම

  • ශල්‍ය උපකරණ වැනි ද්‍රව්‍ය 100 °C දක්වා උෂ්ණත්වයකට ජලයේ තැම්බීම යි.
  • ජලයේ තාපාංකයේ දී බොහෝ ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවීහු මිය යති.

05. පෙරීම

උපකරණය :

  • පටල පෙරහන

පටල පෙරහන භාවිතා කරන අන්දම 

මූලධර්මය :

  • 0.01  μm – 0.45  μm ප්‍රමාණයක සිදුරු පටල පෙරහන්වල ඇත. ජීවාණුහරණය සඳහා ඇති ද්‍රව්‍ය රික්තකයක් භාවිත කරමින් පටලය හරහා ගමන් කරවයි. පෙරහන හරහා තරලය ගමන් කරන අතරතුර ක්ෂුද්‍රජීවීහු පෙරහන තුළ රැදෙති.
  • මේ පෙරහන් මගින් සමහර විශාල ප්‍රෝටීන් අණු හා වයිරස් ද ඇතුළු සියලු ක්ෂුද්‍රජීවීන් පාහේ ඉවත් කළ හැකි ය.

ජීවාණුහරණය කරන්නේ :

  1. තාප සංවේදි එන්සයිම විටමින, ප්‍රතිජීවක, එන්නත් අන්තර්ගත ද්‍රාවණ
  2. සමහර රෝපණ මාධ්‍ය (තාප සංවේදී)
  3. රුධිර මස්තු
  • පොදුවේ මෙම ක්‍රමය භාවිතා වන්නේ තාප සංවේදී ද්‍රාවණ ජීවාණුහරණයටය.

06. පාරජම්බුල විකිරණය (UV විකිරණය)

මූලධර්මය:

  • ක්ෂුද්‍ර ජීවීන් UV කිරණවලට සෘජුව නිරාවරණය කිරීම නිසා ඔවුගේ DNA විනාශ වීම හෝ ඒවාට හානි සිදු වීම මඟින් ක්ෂුද්‍රජීවීහු මරා දැමෙති.

ජීවාණුහරණය කරන්නේ :

  1. ශල්‍යාගාර වැනි රෝහල් අවකාශවල ඇති වාතය ජීවානුහරණයට
  2. රෝපණ කුටි
  3. තවාන් (nurseries)
  4.  ඇතැම් ප්ලාස්ටික් බඳුන්(සම්පත් පොතේ නැත.)

UV කිරණ භාවිතයෙන් ජීවාණුහරණය කරන පටක රෝපණ කුටියක් 

විශේෂ කරුණු :

  • පාරජම්බුල කිරණවල ප්‍රධාන අවාසිය වනේ කඩදාසි, වීදුරු හා රෙදි වැනි ආවරණ හා ඝන පෘෂ්ඨ හරහා විනිවිද නොයෑමයි. එබැවින් ජීවාණුහරණයට භාජනය කළ යුතු ද්‍රව්‍ය විකිරණයට සෘජුව නිරාවරණය විය යුතු වෙයි.

ජීවාණුහරණයෙහි රසායනික ක්‍රම

  • රසායනික ජීවානුහරණ කාරක ලෙස එතිලින් ඔක්සයිඩ් හා ක්ලෝරින් ඩයොක්සයිඩ් (දෙවර්ගය ම වායු වෙයි) වැනි රසායනික ද්‍රව්‍ය භාවිත කරයි.
  • රසායනික කාරක මගින් ක්ෂුද්‍රජීවී ගහනය ආරක්ෂිත මට්ටමකට අඩු කිරීම හෝ රෝග කාරකයන්ගේ වර්ධක ආකාර ඉවත් කිරීම සිදු කරයි.
01. එතිලින් ඔක්සයිඩ්
  • අන්තඃබීජාණු හා ක්ෂුද්‍රජීවීන් මරා දමයි.
  • එය ඉහළ විනිවිද යෑමේ හැකියාවක් සහිත ය. 
  • රෝහල් ඇඳන්වල මෙට්ට ජීවානුහරණයට මෙය භාවිත කරයි.

වෛද්‍ය සැපයුම් ජීවාණුහරණයට  එතිලින් ඔක්සයිඩ් භාවිතා කරන් අන්දම

02. ක්ලෝරින් ඩයොක්සයිඩ්
  • Bacillus anthracis හි අන්තඃබීජාණුවලින් දුෂිත වූ ආවරණය වූ ගොඩනැඟිලි සහිත ප්‍රදේශ දුම් ගැසීම (fumigate) භාවිත කරනු ලැබේ.
  • ක්ලෝරිනීකරණයට පෙර ජලය පිරියම් කිරිමේ දී අති සුලභව භාවිත කර ඇත.

මෙම ක්‍රම වලට අමතරව රසායනික ද්‍රව්‍ය භාවිතා කර ජීවාණුහරණය කරන තවත් ක්‍රම පවතී. ඒවා විෂය නිර්දේශයේ සඳහන් නොවේ.

උදා: 95% පමණ මධ්‍යසාර භාවිතා කර පෘෂ්ඨ ජීවාණුහරණය.

ඊළඟ කොටසින් “රෝපණ මාධ්‍ය සකස් කිරීම” පිළිබඳව ඉගෙන ගමු.

ගයාන් රත්නසූරිය
B.Sc. (University of Colombo)
ශ්‍රී ලංකා උපාධිධාරී ගුරු සේවය (හිටපු)