පරිණාමය පිළිබඳ වාද

පරිණාමවාද

පරිණාමය යනු,

දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට (විකරණය වීම් සහිතව පරම්පරාගත වීම) ගහනයක් තුළ සිදු වන ප්‍රවේණි සංයුතිය වෙනස් වීමක් ලෙස පරිණාමය අර්ථ දැක්විය හැකි ය.

  • පරිණාමය සඳහා වර්ෂ මිලියන ගණනක් ගතවිය හැකි ය.
  • පරිණාමවාද කිහිපයකි.
    1. ලැමාක්වාදය
    2. ඩාවින්-වොලස්වවාදය (ස්වාභාවික වරණවාදය)
    3. නව-ඩාවින්වාදය

ලැමාක්වාදය

1809 දී ලැමාක් තම කල්පිතය ප්‍රසිද්ධ කළේය. මූලධර්ම දෙකක් භාවිතයෙන් ඔහු තම කල්පිතය පැහැදිලි කර ඇත.

  1. වහරය හා අවහරය
  2. පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය

1. වහර හා අවහරය

  • දේහයක නිරන්තරයෙන් භාවිත කරනු ලබන අවයව ක්‍රමයෙන් විශාලව හා ශක්තිමත්ව වැඩෙන අතර, භාවිත නොකර සිටින විට ඒවා පරිහානියට පත් වෙයි.
  • උදා:- ඉහළින් පිහිටි අතුවල කොළ කඩා කෑමට ගෙල දික් කිරීම නිසා බෙල්ල දිගු ජිරාෆ් ඇති වීම.

2. පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය

  • පරිසරයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ජීවීහු තම ජීවිත කාලය තුළ දී උචිත අනුවර්තන ඇති කරගනිති. ඔවුහු මේ අනුවර්තන තම ප්‍රජනිතයන්ට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව දරති. එනිසා ජනිතයෝ එම පරිසරය තුළ වඩා හොඳින් අනුවර්තිතව ජීවත් වෙති.
  • උදා – ආහාර ගැනීම සදහා පරම්පරා ගණනාවක් තිස්සේ බෙල්ල දිගු කිරීම නිසා දිගු බෙල්ලක් හා පේශීමය ගෙලක් දරන වර්තමාන ජිරාෆ් පරිණාමය වේ.

ඩාවින්-වොලස්වාදය (ස්වභාවික වරණවාදය)

  • පරිසරයේ සංසිද්ධීන් දෙකක් ඩාවින් විසින් නිරික්ෂණය කරන ලදි. ඔහුගේ නිරීක්ෂණ වන්නේ,
    1. ගහනයක සිටින විශේෂයකට අයත් සාමාජිකයන් අතර, ප්‍රවේණික විවිධත්වයක් ඇති බව, (ප්‍රවේණික විවිධත්වය)
    2. සැම විශේෂයක් ම පරිසරයට දරාගත හැකි ප්‍රමාණයට වඩා වැඩි ජනිතයන් බිහි කරන බවත් ය (අධිජනනය).
  • ඉහත නිරීක්ෂණ චාල්ස් ඩාවින් විසින් අර්ථකථනය කරන ලදි.
  • ගහනයක සිටින පරිසරයට උචිත ලක්ෂණ දරන ජීවීන්ට, එම පරිසරවල නොනැසී පැවැතීමට හා ප්‍රජනනයට ඉහළ විභවතාවක් ඇත.
  • ඔවුහු අන් අයට වඩා වැඩි ජනිතයන් සංඛ්‍යාවක් බිහි කරති.
  • ගහනයක පැවැත්මට හා ප්‍රජනනයට හිතකර ප්‍රභේදන නිසා පරම්පරා කිහිපයක් ඔස්සේ ඒ ගහනය තුළ වාසිදායක ලක්ෂණවල වැඩි වීමක් සිදු වෙයි.
පැවැත්මට සහ ප්‍රජනනයට වාසිසහගත ලක්ෂණ සමහරක් වන්නේ,
    1. විලෝපිකයාගෙන් බේරීම – ආරක්ෂාව
    2. භෞතික තත්ත්වවලට ඔරොත්තු දිම, පීඩාකාරි තත්වවලට ඔරොත්තු දිම
    3. ආහාර ලබා ගැනීම
    4. රෝගවලට ප්‍රතිරෝධතාව
    5. සංසේචන සම්භාවිතාව
    6. නිපදවන ජනිතයන් සංඛ්‍යාව

ස්වාභාවික වරණ ක්‍රියාවලිය

  1. අධිජනනය.
  2. ප්‍රභේදනය.
  3. තරගය හා උචිතෝන්නතිය.
  4. හිතකර ලක්ෂණ ස්වාභාවික වරණයට ලක් වීම.

නව-ඩාවින්වාදය

  • චාල්ස් ඩාවින් ගේ ස්වාභාවික වරණවාදය තුළ නව ප්‍රභේදන ඇති වන්නේ කෙසේද යන්න සහ ජීවීන්ගේ ආවේණික ලක්ෂණ ඉදිරි පරම්පරාවට ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් නොතිබුණි.
  • එම දුර්වලතා මඟ හරවාගනිමින්, චාල්ස් ඩාවින් ගේ ස්වාභාවික වරණවාදය, ජීවීන්ගේ ආවේණිය පැහැදිලි කිරීම සඳහා පදනම වූ මෙන්ඩලීය ප්‍රවේණිය හා ගහන ප්‍රවේණිය පිළිබඳ දැනුම ආදියේ සමෝධානයක් ලෙස නව-ඩාවින්වාදය” හැඳින්විය හැකි ය.
error: කොපි කරන්න තහනම්!!!