කංකාල පේශි සහ සංකෝචන යන්ත්‍රණය

කංකාල පේශි සහ සංකෝචන යන්ත්‍රණය

කංකාල පේශි පටකවල ලක්ෂණ

  •  සාමාන්‍යයෙන් කංකාල පේශි, කංකාල පද්ධතියට සම්බන්ධව පවතින අතර, ඉච්ඡානුග දේහ චලන ඇති කරයි.
  • දිගු සිලින්ඩරාකාර සෛල මිටිවලින් කංකාල පේශි පටක තැනී ඇත.
  • මේ සෛල එකිනෙකට සමාන්තරව පේශිය දිගේ පිහිටයි.
  • සැම සෛලයක්ම බහු න්‍යෂ්ටික වන අතර, සෛල පටලයට ආසන්නව න්‍යෂ්ටි පිහිටයි.
  • සංකෝචක ක්ෂුද්‍ර සූත්‍රිකා අඩංගු පේශි කෙඳිති මිටි සෛල තුළ පවතින අතර, ඒවා සෛලයේ දිග ඔස්සේ අන්වායාමව පේශි කෙඳිති සාදයි.
  • පේශි සෛලයේ ඇති පේශි කෙඳිති, සාකොමියර නම් පුනරාවර්ති ඒකක සාදයි.
  • කංකාල පේශි සෛලයේ ඇති මේ සාකොමියර පුනරාවර්ති සැකැස්ම, අන්වීක්ෂීය නිරීක්ෂණයේ දී විලේඛ සහිත පෙනුමක් ලබා දේ.
  • සාකොමියර විලිඛිත පේශි සෛලවල ද මූලික සංකෝචක ව්‍යුහයයි.
  • විලිඛිත පේශි සෙල හා හෘද්පේශි සෛල මෙන්ම කංකාල පේශි සෛල ද උද්දීප්‍යතා (උත්තේජනවලට ප්‍රතිචාර දැක්වීමට හා උත්තේජ ප්‍රතිග්‍රහණයට ඇති හැකියාව), සංකෝච්‍යතාව (ඇදීමට හෝ හැකිළීමට ඇති හැකියාව), විතන්‍යතාව (ඉහිල් වීමට හෝ සංකෝචනය වීමට ඇති හැකියාව) , ප්‍රත්‍යස්ථතාව (සංකෝචනය හෝ ඉහිල් වීමෙන් පසු මුල් පිහිටීමට පැමිණීමේ ඇති හැකියාව) සහිතයි.
  • කංකාල පේශි දෛහික ස්නායු පද්ධතියේ ඉච්ඡානුග පාලනය යටතේ සිදු වේ.

සාකොමියරයේ ව්‍යුහය, කංකාල පේශි චලනයේ මූලික යන්ත්‍රණය

 

 සාකොමියරයක සැකසීම

  • විලිඛිත පේශි සෛලයක ඇති පුනරාවර්තී සංකෝචක ඒකක ලෙස සාකොමියරය හැඳින්විය හැකි ය.
  • විශේෂිත ප්‍රෝටීනවලින් තැනුණු සිහින් සහ ඝන සංකෝචක සූත්‍රිකාවලින් සමන්විත පේශි කෙඳිති මගින් සාකොමියර තැනී ඇත.
  • සිහින් සූත්‍රිකා (ප්‍රධාන වශයෙන් ඇක්ටින් ප්‍රෝටීනවලින් තැනුණු) සාකොමියරයේ ඝන රේඛා ලෙස දිස් වන Z – රේඛාවට සම්බන්ධව ඇත. Z – රේඛාව සාකොමියරයේ සීමාවයි.
  • ඝන සූත්‍රිකා (මයෝසින් ප්‍රෝටීනවලින් තැනුනු) සාකොමියරයේ මධ්‍ය ප්‍රදේශයේ M – රේඛාවට සවි වී ඇත.
  • කංකාල පේශි සෛලයක Z – රේඛා දෙකක් අතර ඇති සාකොමියර පුනරාවර්තනය වෙමින් පිහිටයි.
  • පේශි කෙඳිත්ත අක්‍රිය අවස්ථාවල දී ඝන හා සිහින් සූත්‍රිකා අර්ධ ලෙස අති පිහිත වී පිහිටයි.
  • සාකොමියරයේ අග සිහින් සූත්‍රිකා පමණක් ඇත.
  • සාකොමියරයේ මධ්‍ය පෙදෙසේ ඝන සූත්‍රිකා පමණක් ද දැකිය හැකි ය.
  • සාකොමියරයේ මේ සිහින් සහ ඝන සූත්‍රිකා සැකසී ඇති ආකාරය කංකාල පේශි සෛල සංකෝචනවල දී කෙටි වීමට හා ඉහිල් වීමේ දී නැවත පෙර තත්ත්වයට පැමිණීමට ආධාර වේ.
  • සාකොමියරයෙන් ඇති කරන යාන්ත්‍රික කෘත්‍ය සඳහා ඇක්ටීන් හා මයෝසීන් ප්‍රෝටීන දායක වේ.
  • කංකාල පේශි සංකෝචනය ප්‍රධාන වශයෙන් ඉච්ඡානුග වන අතර, එය දෛහික ස්නායු පද්ධතිය මගින් පාලනය වේ. උත්තේජනය වූ විට කංකාල පේශියේ තනි පේශි සෛල කෙටි වේ.
  • එසේ වන්නේ එහි සාකොමියරය කෙටි වීම මඟින් වන අතර, එහෙයින් මුළු පේශියම සංකෝචනය වේ.
  • පේශි සංකෝචන චලනවලට පරිවර්තනය සඳහා පේශි සන්ධානය වී ඇති අස්ථි අවශ්‍ය වේ.
  • අස්ථිවලට සවි වී ඇති ඛණ්ඩරා ඇදීම කංකාල පේශි සංකෝචන මඟින් සිදු කෙරේ.
  • පේශියක සංකෝචනය මඟින් ඒ පේශිය කෙටි වීම සිදු වන අතර, එයින් අස්ථිය හෝ අවයව කොටස චලනය වේ.
  • ස්නායු ආවේගයක් නැවතුණ විට දී පේශි සංකෝචනය වීමෙන් පසු පෙර පැවති දිගටම නැවත පැමිණේ.

සර්පන සූත්‍රිකාවාදය

  • විලිඛිත පේශි සංකෝචනය පිළිබඳ වර්තමානයේ පිළිගනු ලබන ආකෘතියයි.
  • මේ සිද්ධාන්තයට අනුව, කංකාල පේශි සෛලයක් (හෝ හෘද් සෛලයක්) සංකෝචනය වන විට සෑම සාකොමියරයකම ඇති ඝන හා සිහින් සූත්‍රිකා එක මත එක ලිස්සා යෑම සිදු වේ.
  • එවිට සාකොමියරයේ අන්ත දෙකෙහි ම ඇති Z – රේඛා එකිනෙකට ළං කෙරෙන අතර, සාකොමියර කෙටි වේ. එනම්: පේශි සෛල කෙටි වීම සිදු වේ.
  • ඒ අතරතුර දී සාකොමියරයේ ඇති සූත්‍රිකා කාණ්ඩ දෙක සාපේක්ෂව නියත දිගකින් යුක්තව පවතී.
  • පේශි සෛලවල සිහින් ඇක්ටින් සූත්‍රිකා ඇදීම සිදු කරන හා පේශි සංකෝචනයට ඉවහල් වන චාලක ප්‍රෝටීනය මයෝසින් වේ.
  • සෑම මයොසින් අණුවක්ම වලිග පෙදෙසකින් හා හිස පෙදෙසකින් සමන්විත ය.
  • ඝන සූත්‍රිකාවල මේ වලිග පෙදෙස එකට මිටියක් ලෙසද එයින් පැන නගින හිස් ලෙස ද දිස් වේ.
  • සිහින් සූත්‍රිකා ඇක්ටින් අණුවලින් සෑදී ඇති අතර, මයෝසින් අණුවල හිස් සඳහා බන්ධන ස්ථාන ද දරයි. මයෝසින්  හිස් වලට ATP අණු සමගද බැඳීමට හැකියාව ඇත. එසේ වන්නේ ඒවා අඩු ශක්ති තත්ත්වයක පවතින විට දී ය.
  • ATP අණු ADP හා පොස්ෆේට් අණු බවට ජල විච්ඡේදනය වීමේ දී ශක්තිය පිට වන අතර, එවිට මයොසින් හිස ඉහළ ශක්ති මට්ටමකට ළඟා වේ. එවිට මයොසින් හිස, ඇක්ටින්වල ඇති මයොසින් හිස් සඳහා ඇති බන්ධන ස්ථානයට හරස් සේතු මඟින් බැඳේ.
  • ඉන් පසු ADP හා පොස්ෆේට් නිදහස් කරමින් මයොසින් හිස නැවත අඩු ශක්ති මට්ටමට පැමිණේ.
  • එවිට සාකොමියරයේ මධ්‍ය දෙසට සිහින් තන්තු ඇදෙන අතර (ලිස්සා යෑම), සාකොමියරය කෙටි වේ.
  • නව ATP අණුවක් මයොසින් හිසට බැඳුණු විට හරස් සේතු බිඳ වැටී මයොසින් හිස ඇක්ටින් වලින් ගැලවී යයි.
  • ඉන් පසු නැවත නව හරස් සේතු සැදීමේ චක්‍රයක් ආරම්භ වේ.
  • මෙසේ බන්ධනය වීම් හා නිදහස් වීම් ගණනාවක් නැවත නැවත සිදු වීම පේශි සංකෝචනය සඳහා අවශ්‍ය වේ.
  • ඒ සෑම චක්‍රයකදීම හරස් සේතුවල දී මයොසින් හිස් නිදහස් වන අතර, අලුතින් බැඳෙන ATP ජල විච්ඡේදනය වි නැවත මයොසින් සහ නව ඇක්ටින් අණුවකට බැඳීම උත්ප්‍රේරණය කරයි.
  • මේ ක්‍රියාවලිය පේශි සෛලයේ සැම පේශි කෙඳිත්තකම මුළු දිග ඔස්සේ සිදු වේ.
  • සාකොමියරයේ මධ්‍යයට පැමිණි සිහින් සූත්‍රිකා, මයොසින් හිස් බැඳීම සඳහා නව ස්ථාන නිරාවරණය කරයි.
  • මුළු ක්‍රියාවලිය මගින්ම පේශි සෛලයක ඇති සිහින් සහ ඝන සූත්‍රිකා එක මත එක ලිස්සා යමින් Z – රේඛා එකිනෙක ළං කරමින් සාකොමියරය කෙටි කරයි.
  • එක් ඝන සූත්‍රිකාවක මයොසින් හිස් ගණනාවක් දැකිය හැකි ය. එක් තත්පරයක් තුළ දී මේ හිස් සැම එකක්ම හරස් සේතු සාදයි.
  • Ca2+ සහ සමහර අනෙකුත් ප්‍රෝටීන, පේශි සංකෝචනයේ දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.
  • මයොසින් හිසට ඇක්ටින් සූත්‍රිකා සමඟ සම්බන්ධ විය හැක්කේ ඒවායේ බන්ධන ස්ථාන කැල්සියම් අයනවල ක්‍රියාව මඟින් නිරාවරණය වූ විට පමණි.

error: කොපි කරන්න තහනම්!!!