සත්ත්ව රාජධානියේ ප්‍රධාන සැකිලි ආකාර

සත්ත්ව රාජධානියේ ප්‍රධාන සැකිලි ආකාර

සත්ත්ව රාජධානියේ ප්‍රධාන සැකිලි ආකාර තුනක් දක්නට ඇත. ඒ ද්‍රවස්ථිතික සැකිල්ල, බාහිර සැකිල්ල හා අභ්‍යන්තර සැකිල්ල වශයෙනි.

1. ද්‍රවස්ථිතික සැකිල්ල

  • දේහ බිත්තියෙන් වට වුණු තරලය පිරි දේහ කුහරය ද්‍රවස්ථිතික සැකිල්ලයි.
  • නිඩාරියාවන්ගේ ආමාශවාහිනි කුහරය ද්‍රවස්ථිතික සැකිල්ලක් ලෙස ක්‍රියා කරයි.
  • නෙමටෝඩාවන්ගේ තරලය පිරි දේහ කුහරය වන ව්‍යාජ සිලෝමයත්,  ඇනලිඩාවන්ගේ තරලය පිරි දේහ කුහරය වන සිලෝමයත් යන දේහ කුහර ආකාර දෙක ම ආවරණය කරමින් පිහිටන දේහ බිත්තිය එකිනෙකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන අන්වායාම හා වෘත්තාකාර පේශි ස්තර දෙකකින් සමන්විත ය.
  • පේශි සංකෝචනයේත් තරල පීඩනයේත් සම්ප්‍රයුක්ත ඵලය මඟින් සතුන්ගේ සංචරණයත් දේහ හැඩය පවත්වා ගැනීමත් සිදු වෙයි.
  • බොහෝ සතුන්ගේ දේහ සෛල අතර පවතින අවකාශයෙහි ඇති තරලය අන්තරස්ථ තරලය/ පටක තරලය ලෙස හැඳින්වෙන අතර, එමඟින් මෙම සෛල වෙතට සන්ධාරණය සපයනු ලැබේ.
අමතර දැනුමට,

නෙමටෝඩාවෙක් 

පේශි සංකෝචනයේත් තරල පීඩනයේත් සම්ප්‍රයුක්තය සංචරණයට භාවිතා කිරීම.

2. බාහිර සැකිල්ල

  • සතුන්ගේ සැකිල්ලක් ලෙස ක්‍රියා කළ හැකි දැඩි දේහාවරණය බාහිර සැකිල්ලයි.
  • සත්ත්ව රාජධානියේ විවිධ ආකාරවල සැකිලි හමු වෙයි. එනම්:
    1. කයිටිනිමය සැකිල්ල,
    2. කැල්සියම් කාබනේට් බහිස්සැකිල්ල
    3. අස්ථි තලවලින් සමන්විත සැකිල්ල ආදිය වේ.
  • ආත්‍රපෝඩාවන්ගේ බාහිර සැකිල්ල ප්‍රධාන වශයෙන්ම අසෛලිය ව්‍යූහයක්වන කයිටින් වලින් සමන්විත වේ.  මෙම කයිටිනීමය බහිස්සැකිල්ල ප්‍රෝටීන මඟින් හෝ කැල්සියම් කාබනේට්වලින් දැඩි බවට පත්ව ඇත.
  • මොලුස්කාවන්ගේ බාහිර සැකිල්ල ප්‍රධාන වශයෙන් කැල්සියම් කාබනේට්වලින් සැදී ඇත.

  • ඇතැම් උරගයන්ට අස්ථිතලවලින් සැදුණ බාහිර සැකිල්ලක් තිබේ.

ඉබ්බෙකුගේ බාහිර සැකිල්ල අස්ථිතල වලින් සෑදී ඇත.

3. අභ්‍යන්තර සැකිල්ල

  • සත්ත්ව ශරීරයේ මෘදුපටක තුළ ගිලී පවතින දෘඪ සැකිල්ලකි.
  • සත්ත්ව රාජධානියේ විවිධ ආකාරවල අභ්‍යන්තර සැකිලි හමු වෙයි.
  • එකයිනොඩර්මේටාවන්ට කැල්සියම් කාබනේට් ඵලකවලින් තැනුණු අභ්‍යන්තර සැකිල්ලක් ඇත.

  • කෝඩේටාවන්ට අස්ථි හා කාටිලේජවලින් තැනුණු අභ්‍යන්තර සැකිල්ලක් තිබේ.

සතුන්ගේ සැකිලි පද්ධති මගින් ඉටු කරනු ලබන පොදු කෘත්‍ය

1. සන්ධාරණය

හැම සැකිල්ලක් ම සත්ත්ව ශරීරයේ දැඩි රාමුව ගොඩනඟමින් සම්පීඩනවලට හා ආතතිවලට ප්‍රතිරෝධිව ක්‍රියා කරන අතර, දේහයේ හැඩය පවත්වා ගැනීමට ආධාර කරයි.

2. ආරක්ෂාව

දේහයේ සියුම් අභ්‍යන්තර අවයව ආරක්ෂා කරයි.

3. චලනය

බොහෝ සැකිලි දැඩි ව්‍යූහවලින් සමන්විත බැවින් දේහයේ ඇති පේශි සවි වීමට අවශ්‍ය සන්ධාන පෘෂ්ඨ සපයයි. ඇතැම් සැකිලි කොටස් ලිවර ලෙස ක්‍රියා කරමින් පේශි ඇදීමක් සිදු කරන අතර, මෙය සිදු වන විට චලනය සිදු වේ.

මානව සැකිල්ල ඉටු කරන කෘත්‍ය

  1.  සන්ධාරණය
  2. ආරක්ෂාව
  3. චලනය
  4. කැල්සියම් ගබඩා කිරීම හා නිදහස් කිරීම – ඇතැම් හෝමෝනවල බලපෑම යටතේ කැල්සියම් ගබඩා කිරීම හා නිදහස් කිරීම සිදු කරයි.
  5. පොස්ෆේට ගබඩා කිරීම හා නිදහස් කිරීම – ඇතැම් හෝමෝනවල බලපෑම යටතේ පොස්ෆේට ගබඩා කිරීම හා නිදහස් කිරීම සිදු කරයි.
  6. රුධිර සෛල නිෂ්පාදනය – රතු ඇටමිදුලු ආශ්‍රිතව රුධිර සෛල නිපදවීම සිදු වෙයි.

ජලය හා වාතය තුළින් සතුන්ගේ චලනයන්

ජලයේ පිහිනීම

  • විවිධ සත්ත්ව කණ්ඩායම්වලට අයත් සත්තු විවිධ පිහිනුම් ක්‍රම අනුගමනය කරති.
  • ඇතැම් සත්තු තම ගාත්‍රා හබල් ලෙස යොදා ගනිමින් ජලය පිටුපසට තල්ලු කරමින් ගමන් කරති. උදා: කෘමීන්, සිවුපා පෘෂ්ඨවංශීන්
  • ඇතැම් සතුන් දේහය තුළට ජලය ඇතුළු කර ගෙන ඉන් පසු එම ජලය පිටතට විදීම මගින් ජෙට් යානයක් ගමන් කරන ආකාරයට ගමන් කරති. උදා: දැල්ලෝ

  • මත්ස්‍යයෝ තම දේහය හා වලිගය දෙපසට චලනය කරමින් පිහිනා යති.

  • ජලජ ක්ෂිරපායීහු තම දේහය හා වලිගය තරංගාකාරයට ඉහළට හා පහළට චලනය කරමින් ගමන් කරති.
  • උදා: තල්මසුන් හා ඩොල්පින් මත්ස්‍යයා

  • වේගයෙන් පිහිනා යෑමට ඒ සතුන්ගේ දේහය හැඩය අනාකූල වීම ප්‍රධානතම අනුවර්තනයකි.

 

වාතයේ පියාසර කිරීම

  • සතුන් වාතය තුළින් ගමන් කරනුයේ ප්‍රධාන වශයෙන් පියාසර කිරීමෙනි.
  • ඇතැම් අවස්ථාවල දී විසර්පණය (Gliding) මඟින් ද චලනය සිදු කරති.
  • පියාසර කරන සත්තු ඔවුන්ගේ පියාපත් ආධාර කර ගෙන දේහය ගුරුත්වයට එරෙහි ඔසවා තබා ගනිති. පියාපත් වාපත (Air foil) ලෙස ක්‍රියා කරයි.
  • ඔවුන්ගේ දේහ හැඩය මගින් වායුධාරා වෙනස් කරමින් පියාසැරියට ආධාර කරයි පියාපත්වල තිබෙන අනාකූල හැඩය ද වායු ප්‍රතිරෝධය අවම කිරීමට ආධාර වෙයි.

හම්බාවාගේ විසර්පණය 

error: කොපි කරන්න තහනම්!!!