මානව ගාත්‍රා සැකිල්ලේ ව්‍යූහය හා ක්‍රියාකාරිත්වය

මානව ගාත්‍රා සැකිල්ලේ ව්‍යූහය හා ක්‍රියාකාරිත්වය

  • ගාත්‍රා සැකිල්ලට පූර්ව ගාත්‍රා යුගල හා උර මේඛලාවත් අපර ගාත්‍රා යුගල හා ශ්‍රෝණි මේඛලාවත් අයත් ය.

උර මේඛලාව

  • උර මේඛලාව හරහා උත්තර ගාත්‍රය දේහයේ බඳට සන්ධි මඟින් සම්බන්ධ වෙයි.
  • එමෙන්ම උර මේඛලාව මඟින් උත්තර ගාත්‍රය ආක්ෂක සැකිල්ලට සම්බන්ධ කරයි.
  • උර මේඛලාවට වම් හා දකුණු වශයෙන් අක්ෂකාස්ථි දෙකක් හා වම් හා දකුණු වශයෙන් අංශඵලක අස්ථි දෙකක් අයත්ය.

ශ්‍රෝණි මේඛලාව

  • ශ්‍රෝණි මේඛලාව උකුල් අස්ථි දෙකකින් යුතු අතර, ඒවා ත්‍රිකාස්ථියට සම්බන්ධව ඇත.

ශ්‍රෝණි මේඛලාවේ පූර්ව පෙනුම

පූර්ව ගාත්‍රය

  • ප්‍රගණ්ඩාස්ථිය මගින් උඩු බාහුව සාදයි.
  • අරාස්ථිය හා අන්වරාස්ථිය (යටි බාහුව), හස්තකුර්වාස්ථී (08- මැණික් කටුව), හස්තකුර්වෝපරිය (05– අත්ලේ අස්ථි), ඇඟිළි පුරුක් (ඇඟිළි පුරුක් අස්ථි 14) ද පූර්ව ගාත්‍රය ට අයත් ය.

 පූර්ව ගාත්‍රයේ අස්ථි

  • පූර්ව ගාත්‍රය ග්‍රහණයට, බර ඉසිලීමට හා පුළුල් පරාසයක චලනය කිරීමට හැකි පරිදි සැකසී ඇත.
  • ප්‍රගණ්ඩාස්ථියේ හිස අංශඵලකයේ  ග්ලෙනොයිඩ කුහරය සමඟ සන්ධානය වීමෙන් අසම්පූර්ණ ගෝල කුහර සන්ධියක් වන උරහිස් සන්ධිය සෑදීම මඟින් පුළුල් පරාසයක චලනය වීමේ හැකියාව පූර්ව ගාත්‍රයට හිමිව ඇත.
  • උරහිස් සන්ධිය මඟින් සම්මිංජනය, ප්‍රසර්ජනය, අභිනයනය, අපනයනය, භ්‍රමණය, පරිනයනය යන චලනයන්ට ඉඩ සලසයි.

දේහයේ විවිධ සන්ධි පෙන්වන චලනයන්

  • ප්‍රගණ්ඩාස්ථියේ විදුර කෙළවර සන්ධාන පෘෂ්ඨ දෙකක් ඇත. මේවා අරාස්ථිය හා අන්වරාස්ථිය සමඟ සන්ධානය වීමෙන් වැලමිට සන්ධිය සෑදේ.
  • එමෙන් ම අරාස්ථිය හා අන්වරාස්ථිය ඒවායේ අවිදුර හා විදුර කෙළවරවල්වල දී එකිනෙක හා සන්ධානය වී ඇත.
  • තන්තුමය සම්බන්ධකයකින් අස්ථි දඬු දෙක එකිනෙක හා සම්බන්ධ වීම මඟින් අස්ථි අතර සම්බන්ධය ස්ථාවර වීමත් බලයක් යෙදුණු විට වැලමිට හෝ මැණික් කටු සන්ධිවල සාපේක්ෂ පිහිටීම පවත්වා ගැනීමත් සිදු වේ.
  • වැලමිට සන්ධිය අසව් සන්ධියක් ලෙස ක්‍රියා කරමින් යටිබාහුවේ සම්මිංජන හා ප්‍රසර්ජන චලන සඳහා පමණක් අවස්ථාව සලසයි.
  • යටිබාහුවේ අස්ථිවල විදුර කෙලවර හස්තකුර්චාස්ථි සමග සන්ධානය වීමෙන් මැණික්කටු සන්ධිය සාදයි.
  • හස්ථකුර්චාස්ථි අට අවිදුර හා විදුර ලෙස පේළි දෙකකට සැකසී ඇත. ඒවා එකිනෙක බැඳී පවතින නිසා ඒවා අතර චලන සීමා වෙයි.
  • අවිදුර පේළියේ අස්ථි මැණික්කටු සන්ධිය සමඟත් විදුර පේළියේ අස්ථි හස්ථකුර්චෝපරි අස්ථි සමඟත් සම්බන්ධ ය.
  • අරාස්ථියේ විදුර කෙලවර අවිදුර පේලියේ හස්තකුර්චාස්ථි තුනක් සමග සම්බන්ධ ය. මේ සැකැස්ම මඟින් අත්ල උඩු අතට හැරීම හෙවත් උත්කුබ්ජනය හා අත්ල යටි අතට හැරවීම හෙවත් නිකුබ්ජනය සිදු කිරීමට හැකි වෙයි.
  • මීට අමතරව මැණික්කටුවට ද සම්මිංජනය, ප්‍රසර්ජනය, අභිනයනය හා අපනයනය කළ හැකි ය.
  • හස්තකුර්චෝපරි අස්ථිවල අවිදුර කෙළවර හස්තකුර්චාස්ථි සමඟත් විදුර කෙළවර ඇඟිලි පුරුක් සමගත් සන්ධානය වෙයි.
  • හස්තකුර්චෝපරි අස්ථි හා ඇඟිලි පුරුක් අතර හට ගන්නා සන්ධිය මගින් ඇඟිලිවල චලනයට හා බලග්‍රහණයට ඉඩ සලසයි.
  • ඇඟිලිවලට ද සම්මිංජන, ප්‍රසර්ජන, අභිනයන, අපනයනය හා පරිිනයන චලන පෙන්විය හැකි ය.
  • පළමු ඇඟිල්ල/ මහපටැඟිල්ල අතේ ඇති පළමු හස්තකුර්චෝපරි අස්ථිය හා විශිෂ්ට හස්තකුර්චාස්ථියත් අතර ඇති සන්ධිය මඟින් අනෙක් ඇඟිලිවලට වඩා පළමු ඇඟිල්ලේ චලභාවය වැඩි කරවයි.
  • එමෙන්ම මහපටැඟිල්ලේ පිළිමල්භාවය මඟින් අනෙක් ඇඟිලිවලට ලම්බකව චලනය කිරීමට හැකියාව ලැබෙයි. මෙමඟින් මිනිසාට ම ආවේණික වූ යථාතත්ත්ව ග්‍රහණ/ සියුම් ග්‍රහණ හැකියාව ලැබී ඇත.


අපර ගාත්‍රය/ පහළ ගාත්‍රය

අපර ගාත්‍රයේ අස්ථි

එය ඌර්වාස්ථිය (කලවාස්ථිය), ජංඝාස්ථිය (කෙණ්ඩ අස්ථිය), අනුජංඝාස්ථිය, දණිස් කටුව, වළලුකර අස්ථි 7ක් ද පතුල් ඇට 5කින් සහ ඇඟිලි පුරුක් 14කින් ද සමන්විත වේ.

  • අපර ගාත්‍රය මානව දේහයේ ඍජු ඉරියවුව පවත්වා ගැනීමට, දේහ බර දරා ගැනීමට, ශක්තිමත්භාවයට හා ඇවිදීමට අනුවර්තනය වී ඇත.
    කලව සැදී ඇති ඌර්වස්ථිය දේහයේ ඇති දිගම, බරම හා ශක්තිමත්ම අස්ථියයි.
  • ඌර්වස්ථියේ හිස ශ්‍රෝණි මේඛලාවට අයත් උකුල් අස්ථියේ ශ්‍රෝණි කෝටරකය සමඟ සන්ධානය වීමෙන් ගෝල කුහර සන්ධියක් වන උකුල් සන්ධිය සාදයි.
  • සිට ගෙන සිටින විට දේහ බර දරා ගැනීමට හැකි වන පරිදි මේ උකුළු සන්ධිය ඉතා දැඩි හා ශක්තිමත් වේ.
  • අපර ගාත්‍රය ද සම්මිංජන, ප්‍රසර්ජන, අභිනයන, අපනයන, පරිනයන හා භ්‍රමණ චලන උකුළු සන්ධිය ආශ්‍රිතව සිදු කරයි.
  • ඌර්වස්ථියේ විදුර කෙළවර ජංඝාස්ථිය හා දණිස්කටුව සමඟ සන්ධානය වීමෙන් දණහිස් සන්ධිය සෑදෙයි.
  • කෙණ්ඩය සාදන අස්ථි දෙකෙන් මධ්‍යයට පිහිටන අස්ථිය ජංසාස්ථියයි.
  • දණහිස් සන්ධියට සම්මිංජන ප්‍රසර්ජන හා භ්‍රමණ චලන දැක්විය හැකි ය. මේ සන්ධිය අගුළු වැටීමෙන්
    දිර්ඝ වේලාවක් සිට ගෙන සිටීමට හැකි වෙයි.
  • ඌර්වස්ථිය මඟින් දේහ බර දණහිසට පහළින් ඇති අස්ථි හරහා පාදයට සම්ප්‍රේශණය කරයි.
    ජංඝාස්ථියේ හා අනුජංඝාස්ථියේ විදුර කෙළවර විශේෂිත පාදකුර්චාස්ථියක් සමඟ සන්ධානය වීමෙන් වළලුකර සන්ධිය සැදී ඇත.
  • පාදයේ පාඇඟිලි මඟින් ඉහළට එසවීමටත් (tip toe) කෙණ්ඩය දෙසට මහපටැඟිල්ල එසවීමටත් වළලුකර සන්ධිය ආධාර වෙයි.
  • පාදයේ අස්ථි සැකැස්ම හා ආශ්‍රිතව ඇති බන්ධනි හා පේශි මඟින් විලුඹ ප්‍රදේශයේ පාදයට වක්‍ර හැඩයක් ලබා දී ඇත. පාදයට අන්වායාම වක්‍ර දෙකක් හා තීර්යක් වක්‍රයක් බැගින් ඇත.
  • විලුඹේ සිට මහපටැඟිල්ල දක්වා දිවෙන වක්‍රතා අන්වායාම වක්‍රතා ලෙසත් පාදය හරහා ගමන් කරන වක්‍රතා තීර්යක් වක්‍රතා ලෙසත් හඳුන්වයි.
  • ඍජු ඉරියව්වේ දී ඇවිදින විට හෝ එක තැන සිටින විට දේහ බර පාදය ඔස්සේ සමානව ව්‍යාප්ත කිරීමට මේ වක්‍රතා ආධාර වෙයි.

පාදයේ වක්‍රතා
පාදයේ කණ්ඩරා හා බන්ධනී

error: කොපි කරන්න තහනම්!!!